වෛද්‍ය විද්‍යාලයට දේහය භාරදීමේ තීරණය වෙනස්වේ
ආදාහනය නිදහස් චත්‍රරශ්‍රයේදී
- සතියක ශෝක කාලයක්



අභාවප්‍රාප්තවූ ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව මහතාගේ දේහය කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සෙනසුරාදා (5) පස්වරු 6 ට ආදාහනය කරන බව ආදාහන කමිටුවේ සභාපති මහාචාර්ය සුනිල් ආරියරත්න දන්වා සිටී.
මින් ඉහත වාර්තාවූ පරිදි අවසන් කැමැත්ත පරිදි දේහය වෛද්‍ය විද්‍යාලයයට බාරදීමේ තීරණය මේ අනුව වෙනස් වෙයි.
මෙම තීරණය ඥාතීන්ගේ එකඟත්වය අනුව
වෙනස් කළ බවද වාර්තා විය.


අමරදේවයන්ගේ දේහය සිකුරාදා (4) උදෑසන 9 ට කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට පෙරහරින් කොළඹ ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරස්‍රයට  රැගෙන යන බවත් එම පෙරහරට සහභාගී වන ලෙසත් මහාචාර්ය සුනිල් ආරියරත්න රසික සහෘදයන්ගෙන් ඉල්ලා සිටී.
ඒ අනුව සිකුරාදා පෙරවරු 10 සිට පසුදා  පස්වරු 3.30 දක්වා  නිදහස් චතුරස්‍රයේ දී දේහයට අවසන් බුහුමන් දැක්වීමට හැකි අතර සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරිමෙන් පසුව දේහය ආදාහනය කිරිමට නියමිතය.
මේ අතර ජනපති නියමය පරිදි අමරදේවයන්ගේ අභාවය සම්බන්ධයෙන් රජය අද සිට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අනුව රජයේ කාර්යාලයවල ජාතික කොඩිය අඩ කුඹු කෙරේ. ස්වදේශ කටයුතු අමාත්‍යංශය අද මේ බව නිවේදනය කළේය.