දිල්රුක්ෂිගේ අස්වීම අවසානයේ ජනපති භාරගනී
දිල්රුක්ෂිගෙන් මහින්දට තොරතුරු ලීක් වීම ගැන ජනපතිට සැකයක්

වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සුනේත්‍රා

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් බාරගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය අද සවස නිවේදනය කළා.
අද උදෑසන වාර්තාවී තිබුනේ අගමැතිවරයා පැමිණි පසු ජනපතිවරයාගේ තීරණය ලබාදෙන කතාවකි. කෙසේ වෙතත් ඊයේ කැබිනට් රැස්වීමේදී
ජනපතිවරයා දිල්රුක්ෂි මහත්මියගේ කටයුතු


සම්බන්ධයෙන් අවිශ්වාසයක් පවතින බවට චෝදනා කර තිබුණ බවක් අද කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී ඇමති රාජිත හෙළි කර තිබේ.
එයට උදාහරණයක් සැපයූ ඇමති රාජිත කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන්ට ඩුබායි නගරයේ බැංකු ගිණුම් තිබී යැයි සඳහන් චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරුණු පරීක්ෂණ ඇගේ ක්‍රියාපිළිවෙත නිසා අඩපණවූ ආකාරයයි. වරක් ජනාධිපතිවරයා අත්සන් කළ රහස්‍ය ලේඛනයක තොරතුරු ද ඇය මාර්ගයෙන් පිටතට නිකුත්වී ඇතැයි සැකයක් මතුවුණ බව ඊයේ ජනපති පවසා ඇත.
රාජපක්ෂවරුන්ට අයත් බව කියන ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා දිනක් දිල්රුක්ෂි මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බවත්, ඇය ගොස් පැයක් යද්දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලැබුණු බවත් ඇමතිවරයා අනාවරණය කළේය.
එම පරීක්ෂණ සඳහා සහය වන ලෙසට ඩුබායි වෙත යැවීමට සැකසූ ලිපියට ජනපති අත්සන් තබා පැයකට පසු මහින්ද රාජපක්ෂ එම ලිපියකට අත්සන් තැබූවේදැයි විමසීමක් කිරීම එම පරීක්ෂණවල විනිවිධභාවය ගැන ගැටළු මතු කිරීමක් බව සඳහන් කළේය.

මේ අතර අල්ලස් කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස දැනට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් ලෙස කටයුතු කරනු ලබන සුනේත‍්‍රා ජයසිංහ මහත්මිය පත්කර තිබෙනවා.