සමුගත් විජය නන්දසිරි බලන්න ආ
 හොඳම රසික යුවළ

ගල්කිස්සේ කලාපුරයේ තැන්පත් කර තිබෙන අභාවප‍්‍රාප්ත විජය නන්දසිරි කලාකරුවාණන්ගේ දේහයට ගෞරව දක්වන්නට මේ වනවිට දිවයිනේ සිව්දිගින් විශාල පිරිස් ඇදී එන බව වාර්තා වෙනවා. රැයක් දවාලක් වෙනසක් නැතිව එම නිවස මහජනතාවගේ පිරී ඉතිරී තිබෙන අතර මෑත යුගයේ රසික හදවත් අතරට වඩාත් සමීප වූ කලා කරුවා වන්නේ
ඔහු බව ඒ සෙනග සාක්ෂි දරනවා.

මේ අතර ඊයේ දිනයේ ඔහු බලන්නට පැමිණි අම්මා කෙනෙකු සහ පුතෙකු ගැන වැඩි දෙනෙකුගේ අවධානය යොමු වුණා. ඒ අම්මා උතුරු මැද පළාතේ සිට පැමිණි විජයගේ පැරණි රසිකයෙකි. ඇස් පෙනීම දුර්වල ඇයට ඇස් පෙනෙන කාලයේ විජයගේ රංගනය දැක තිබුණ බවත් ඔහු මියගිය පුවතින් කම්පනයට පත්ව දෑසග කඳුළු මතුවූ බවත් ඇය කියා තිබුණා. අම්මා මෙන්ම පුතුද විජයගේ හොඳ රසිකයෙකි. ඔහු කියා සිටියේ තමාගේ ජීවිතයේ දකින්නට ලැබුණ කැමතිම නළුවා විජය බවයි.
දුර බැහැර සිටියත් අවසන් වරට හෝ විජයගේ දේහය ස්පර්ශ කරන්නට අවස්ථාවක් ලැබේ නම් වටින බව මව කියූ නිසා පුතු ඇයව රැගෙන අවමංගල නිවසට පැමිණ තිබුණා.