පෙම්වතිය පුදුම කරන්න බුර්කාව ඇඳ ඇත්තේ
සතොස විධායක නිලධාරියෙක්


පෙරේදා කටුනායක ගුවන්තොටුපළේදී පෙම්වතිය පුදුම කරවන්න බුර්කාවක් ඇඳ පැමිණ සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමේ කතාවේ තවත් විස්තර මේ වනවිට වාර්තා වෙනවා.
මෙම 35 හැවිරිදි පුද්ගලයා කොළඹ වොක්සෝල් වීදියේ පිහිටි සතොස මූලස්ථානයේ විධායක නිලධාරී තනතුරක් දරන්නෙකු වන අතර ඇත්තටම විදේශයක සිට පැමිණ ඇත්තේ
ඔහුගේ පෙම්වතිය නොව කසාද බිරිය බවත් වාර්තා වුණා. ඔහු ප‍්‍රකට


ඇමතිවරයෙකුගේ ළඟම ඥාතියෙකු බවත් වාර්තා වුණා.
මුහුණෙහි ඇස් පමණක් ඉතිරි කර බුර්කාවකින් සැරසෙන්නට එවැනි ඇඳුමක් ඔහුට පහසුවෙන් සොයාගන්නට හැකිව ඇත්තේ ඔහු මුස්ලිම් ජාතිකයෙකු වූ නිසාය.
ඔහුගේ බිරිය එදින කටාර් හරහා ලංකාවට ආවත් ඇය පදිංචිව සිට ඇත්තේ නෝර්වේ රාජ්‍යයේය.
තමා බි‍්‍රතාන්‍යයේ පදිංචිව සිටි කාලයේ මෙම කාන්තාව හඳුනාගත් බවත් පසුව එරටදී විවාහ වීමෙන් පසු ඇයට නෝර්වේහි රැකියාවක් ලැබුණ නිසා ඇය එහි ගිය බවත් පසුව තමා ලංකාවට ආ බවත් ඔහු කියා ඇත. වසරකට වරක් පමණ ඇය ඔහු බලන්නට එන බවත් පෙරේදා ඇය එසේ පැමිණෙන විට පුදුම කරවන අදහසින් බුර්කාව ඇඳ සිටින්නට කල්පණා කළ බවත් ඔහු කියා ඇත.
මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළේ අමුත්තන් පිටවන දොරටුව අසළ පිරිමි වැසිකිළියේ සිට බුර්කාවකින් සැරසී එළියට එද්දී සැක සිතී පොලිස් අත්අඩංගුවට ගත් පසු මෙම කතාව හෙළි විය. තමා වෙනත් ඇඳුමකින් ගුවන් තොටුපළට ආ බවත් පසුව පිරිමි වැසිකිළියේදී බුර්කාවට මාරුවූ බවත් පවසන ඔහු එළියට එනවාත් සමග හසුවූ බවත් කියා ඇත.
ගුවන් තොටුපළට ඔහුගේ බිරිය පැමිණි පසු දෙදෙනා මුණ ගැස්වූ පසුව එම කාන්තාව කියූ තොරතුරු හා මොහු කියූ තොරතුරු වල පරස්පරයක් නොවූ බව පොලිසිය පවසයි. කෙසේ වෙතත් ඔහුගෙන් වැඩිදුර තොරතුරු විමසීමෙන් අනතුරුව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කරන බව පොලිසිය දන්වා ඇත.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව මෙතැනින්