මුරලි මව් රටට
පිටුපෑ කතාව


ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ ලෝක පූජිත ක‍්‍රිකට් ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳ මේ දක්වා ලාංකිකයන්ට තිබුණ නොකිලිටි ගෞරවනීය හැඟීම වෙනස් කරවන්නට සමත්වූ යම් යම් සිද්ධි කිහිපයක් මේ වනවිට වාර්තාවී තිබෙනවා.
සංචාරක  ඕස්ටෙ‍්‍රලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු ලෙස සති දෙකක කාලයකට පත්වීමක් ලැබ කටයුතු කරන මුරලිදරන් එම ක‍්‍රීඩකයන් සමඟ පෙරේදා (23දා) දහවල් පුහුණුවීම් සඳහා පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේදී
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර චරිත් සේනානායක මහතාට බැන වැදී ඇති සිදුවීමක් මෙම ආරෝවට මුල්වී ඇත.
මින් ඉහත 18-20 දිනවල කොළඹ සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැති තුන්දින පුහුණු තරගයේදී මුරදිරන්ගේ අභිමතය පරිදි  ඕස්ටේ‍්‍රලියානුවන්ට වාසි පරිදි තණතිල්ල වෙනස් කර ඇතැයි කළමනාකාර චරිත්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත පැමිණිලි කර තිබී ඇති අතර ඒ ගැන මුරලි පිට්ටනියේදී ඔහුගෙන් විමසා බහින්බස්වීමක් ඇතිව තිබේ.
පසුව  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයන් සමඟ ක‍්‍රීඩාංගණයට පිවිස පුහුණුවීම් කටයුතු කිරීමට මුරලි ක‍්‍රියාකර තිබෙන අතර එය කිසිදු අවසරයකින් තොරව කර ඇති බවට චරිත් චෝදනා කර තිබේ. මෙම ආරෝව නිසා කුපිතවී සිටින කළමනාකාර චරිත් සිද්ධිය බලධාරීන්ට හා මාධ්‍ය වෙත වාර්තා කිරීමට පියවර ගෙන තිබෙන අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඊයේ කියා තිබුනේ තමා මුරලිගේ හැසිරීම ගැන කණගාටුවන බවත් මේ ගැන  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දෙන බවත්ය.
මුරලිට අතීතයේ මුහුණදෙන්නට සිදුවූ ගැටළු සහගත අවස්ථාවන් වලදී ඔහු බේරාගැනීමට ක‍්‍රිකට් ආයතනය විසින් කටයුතු කළ බවත්,පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ වෘත්තීයභාවය පිළිබඳ ගැටළුවක් නැතත් සදාචාරාත්මක ප‍්‍රශ්නයක් පවත්නා බවත් තිලංග සුමතිපාල මෙහිදී කියා ඇත.
වෝන් - මුරලි කුසලානය සඳහා පැවැත්වෙන තරඟාවලියේදී අපේ යැයි පැවැසු මුරලි ඔස්ටෙ‍්‍රලියානු පන්දු යවන්නන් අපට එරෙහිව පුහුණු කිරීම කෙතරම් සාදාචාරාත්මකද යන්න පිළිබඳව විමසා බැලිය යුතුව ඇතැයිද තිලංග කියා ඇත.
මේ අතර දිවයින පුවත්පත කළ විමසීමකදී මේ ගැන අදහස් පළ කර තිබෙන මුරලිදරන් මෙසේ කියා ඇත.
”මම කරන්නෙ රාජකාරියක්. මොකද මට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එකෙන් කවුරුත් මේ දෙය කරල දෙන්න කියල කතා කරල නැහැ.

ඔස්ටෙ‍්‍රලියාවෙ කට්ටිය මට කතා කරල අවස්ථාවක් ලබා දුන්නා. නමුත් මම දීර්ඝ කාලීනව පුහුණුකරුවෙකු ලෙස වැඩ කරන්න කැමැති නැති නිසා මම සති දෙකකට ඒ යෝජනාවට කැමැත්ත දුන්නා. මීට ඉස්සරත් මම කෙටි කාලීනව ඔස්ටෙ‍්‍රලියානු කණ්ඩායමට උපදේශකයකු ලෙස කටයුතු කරල තියෙනවා. ඒ විතරක් නෙමෙයි අයි.පී.එල්. තරගාවලියේදීත් මම මේ රැකියාව කරනවා. ඉස්සරහටත්  ඕනම රටක් වෙනුවෙන් භාරගන්න සූදානම්.
මේ මැච් එකට වෝන් සහ මම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන තමයි දැන් ගොඩක් කල් ඉදන් මේ නම දාල තියෙන්නෙ. එහෙම වුණා කියල මම කරන රාජකාරියයි ඒකයි අතර සම්බන්ධයක් නැහැ.
ඇත්තටම මම පසුගිය අවුරුදු පහේදී ලංකාවේ ක‍්‍රිකට් පිළිබඳව අවධානයක් යොමු කළේ නැහැ. දේශීය තරගාවලි මොනවද වුණේ කියලත් මම දන්නෙත් නැහැ. හැබැයි ලංකාවේ හොඳ පුහුණුකරුවන් ඉන්නවා. නමුත් කොතන හෝ වරදක් තියෙනවා. ඒ නිසා තමයි මෙහෙම වෙන්නෙ. අපේ රටේ දඟ පන්දු යවන්නන්ගෙන් අඩුවක් නැහැ. හැබැයි ඒ අයව තෝරන කට්ටියගෙ තමයි දුර්වලතාව තියෙන්නෙ.”