ඇඟිල්ලෙන් අනිමින් නීතිඥයාට උපදෙස් දුන්
පවිත‍්‍රාට උසාවියෙන් දැඩි අවවාද


පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි පවිත‍්‍රා වන්නිආරච්චි ඊයේ අධිකරණයේදී කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මියගේ දැඩි අවවාද කිරීමකට ලක්ව තිබෙනවා.
මෙයට හේතුවී ඇත්තේ ඇයට සම්බන්ධ නඩුවකට ඇය උසාවියේ පෙනී සිටි අවස්ථාවේ නඩුව විභාගවීමට සභාවේ අවධානය ඇරඹුණ පසුව අනවශ්‍ය ලෙස ඇගේ නීතීඥයින් වෙත ගොස් ඇඟිල්ලෙන් අනිමින්
විවිධ උපදෙස් දෙන්නට යාම නිසාය.
නඩුවක් විභාග වන අවස්ථාවක මහේස්ත‍්‍රාත්වරිය බලා සිටියදී විනයානුකූල පරිසරයක් තිබීම එම නඩුවේ තීන්දුව කෙරෙහි අවශ්‍ය බැවින් පුද්ගලයින්ට ඇවිදින්නට දුරඇමතුම් ලබාගන්නට කතාබහේ යෙදෙන්නට වතුර බොන්නට අවස්ථාවන් සලසා නැත. කිසිවෙකු එලෙස බාධාවන ලෙස හැසිරෙනවා
නම් ඒ වෙනුවෙන් නීතියෙන් කටයුතු කිරීමටද විනිසුරන්ට අවස්ථාව තිබේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි පවිත‍්‍රා වන්නිආරච්චි නීතීඥවරියකද වන අතර ඇය මේගැන හොඳහැටි දැන සිටියදී මෙම වරද සිදුව තිබේ.
තමාට අදාළ නඩු කටයුත්ත සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වන අවස්ථාවේදී සිය නීතිඥවරයකුට ඇඟිල්ලෙන් අනිමින් උපදෙස් ලබාදුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී නීතිඥ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඊයේ (28 දා) පෙරවරුවේ තරයේ අවවාද කළාය.
ඊයේ ඇයට අදාළ නඩු නිමිත්ත වූයේ බත්තරමුල්ල සුභූතිපුර ප‍්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් ඇය බද්දට ගෙන එහි පහසුකම් ප‍්‍රශ්නයක් නිසා නියමිත කාලයට පෙර ලබාදෙන්නට යාමේදී නිවසේ හිමිකරු ඇයට අගරු චෙක්පතකින් ගෙවිය යුතු මුදල වංචා කිරීමයි. ඇය ඔහුට එරෙහි රුපියල් ලක්ෂ 20 ක් වංචා කිරීමේ චෝදනාව යටතේ එම නඩුව පවරා තිබිණි. එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ සිය නීතිඥවරුන් සමඟ අධිකරණයට පැමිණි මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කනිෂ්ඨ නීතිඥවරයකුගේ ශරීරයට ඇඟිල්ලෙන් ඇන ඇන උපදෙස් ලබාදෙන අයුරුත් ඔහු අධිකරණ ශාලාවේ කෙළවරකට කැඳවාගෙන ගොස් උපදෙස් දෙන අයුරුත් නිරීක්ෂණය කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය මෙසේ කියා සිටියා.
නඩුවට අදාළ පාර්ශ්ව සිය නීතිඥවරුන්ට උපදෙස් ලබාදෙන්න  ඕනෑ අධිකරණ නඩු කටයුතු සිදුකරන අතරතුරදී නොවේ. අධිකරණයෙන් පිටතදියි. කිසිම කෙනකුට සිය නීතිඥවරුන්ට ඇඟිල්ලෙන් ඇන ඇන උපදෙස් දෙන්න අධිකරණයට ඉඩ දෙන්න බෑ. ඒක කාටත් එකයි. මේ නඩුවට විශේෂත්වයක් දක්වන්න අධිකරණයට බෑ. පැමිණිලිකාරිය නීතිඥවරියක්. ඒ නිසා උසාවියේ හැසිරෙන හැටි අනිත් අයට වඩා හොඳට දැනගන්න  ඕනෑ’