මහර අධිකරණයේ විභාග වෙමින් තිබූ හෙරොයින් නඩුවකට ඊයේ (23 දා) පෙරවරුවේ පෙනී සිටි මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු සිය බිරිඳ සහ දරුවාද සමඟ නිවස බලා යැමට සූදානම් වෙද්දී එහි කඩාවැදුණු සන්නද්ධ කණ්‌ඩායමක්‌ අධිකරණය ඉදිරියේ දෙනෝ දාහක්‌ දෙනා බලා සිටියදී ජාවාරම්කරුට වෙඩි තබා ඝාතනය කර පලා ගියා.
මෙහිදී ඝාතනයට ලක්‌වූ 35 හැවිරිදි සුරේෂ් අසංක සිල්වා හෙවත් "ලන්පියා" නමැත්තාට
එරෙහිව මිනීමැරුම් චෝදනාවක්‌ද එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි. මෙම ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ එහි සිටි "ලන්පියා" නමැත්තාගේ බිරිඳට අටහැවිරිදි දරුවාට සහ තවත් කාන්තාවකට කිසිදු අනතුරක්‌ සිදුවී නැත.

මෙම ප්‍රහාරය සඳහා සුදු පැහැති වෙසෙල් වර්ගයේ ජීප් රථයක පුද්ගලයන් සිව්දෙනකු පැමිණි සිටි බව පරීක්‌ෂණ වලින් හෙළිවී තිබේ. "ලන්පියා" නමැත්තා සිය බිරිඳ දරුවා සහ තවත් කාන්තාවක්‌ සමඟ මහර අධිකරණයෙන් පිටවී ඉදිරිපස මාර්ගය අසල නවතා තිබූ සුදු පැහැති හයිබ්‍රිඩ් මෝටර් රථයට ඇතුළුවනවාත් සමඟම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.

ජීප් රථයෙන් බැසගත් පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ. එම පුද්ගලයන් වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක්‌ සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්‌තෝලයක්‌ යොදාගෙන තිබූ බව පරීක්‌ෂණ වලින් හෙළිවී තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්‌වූ "ලන්පියා" නමැත්තා රාගම රෝහල වෙත ඇතුළු කරන විටත් මියගොස්‌ සිටි බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

මෙම ඝාතනය පාතාල කල්ලි දෙකක්‌ අතර කාලයක පටන් පවතින ආරවුලක්‌ මත සිදුවූ එකක්‌ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

ඝාතනයට ලක්‌වූ "ලන්පියා" නමැත්තා පාතාල ලෝකයේ කෙරුම්කාරයකුව සිටි මොරටු සමන් නමැත්තාගේ සමීපතම ගෝලයෙකි. මොරටු සමන් ඝාතනයට ලක්‌වීමෙන් පසු මොහු වෙනත් පාතාල කල්ලියකට සම්බන්ධ වී සිටි බව පොලිසිය පවසයි. ගල්කිස්‌ස ගොනාකෝවිල ප්‍රදේශයේ පාතාල කෙරුම්කාරයකු සහ "ලන්පියා" අතර කාලයක පටන් ආරවුලක්‌ පැවති බවට තොරතුරු ලැබී තිබේ. "ලන්පියා" නමැත්තා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම ආරවුල හේතුවෙන් ආරක්‌ෂාව සඳහා මොහු සිය බිරිඳ සහ දරුවා සමඟ රාගම පේරලන්ද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචියට පැමිණ සිට ඇත.

මීට වසර කීපයකට උඩදී  "ලන්පියා" නමැත්තා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයට කොටුවී ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 100 ක්‌ ද සමඟය. ඒ වත්තල ප්‍රදේශයේදීය. මෙම හෙරොයින් සිද්ධිය සම්බන්ධයෙන් පැවති නඩුවට පෙනී සිsට ආපසු යද්දී "ලන්පියා" ඝාතනයට ලක්‌වූ බව පොලිසිය පවසයි.

රත්මලාන ප්‍රදේශයේ සිදුවූ මිනීමැරුමක්‌ සම්බන්ධයෙන් ද "ලන්පියා" නමැත්තාට එරෙහිව චෝදනා තිබෙන බව පොලිසිය කියා සිටියි.

ලන්පියා ඝාතනය කළ පුද්ගලයන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ පරීක්‌ෂණ ආරම්භ කර ඇත.

බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති කපිල ජයසේකර, සහකාර පොලිස්‌ අධිකාරී ආර්. එල්. රණවීර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වාගෙන යයි.
(හේමන්ත රන්දුණු මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක, දෙල්ගොඩ - විතාන)