කළුබෝවිල මහ රෝහලේ කාර්ය මණ්‌ඩලයේ 25 දෙනකුට ඩෙංගු වැළඳී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක්‌ ඊයේ (23 වැනිදා) පැවැසීය.

ඩෙංගු වැළඳුණු අය අතර වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය සහායකයන් ද වන බව එම ප්‍රකාශකයා කීවේය. මැයි සහ ජුනි යන මාස දෙක තුළදී මොවුන් මෙලෙස ඩෙංගු රෝගයට ගොදුරුවී ඇතැයිද ඔහු කීය.

රෝහල පවිත්‍ර කිරීමට කනිෂ්ඨ සේවකයන්ගේ හිඟයක්‌ පවතින බවත් රෝහලේ පවිත්‍රතා කටයුතු නිසි අයුරින් සිදු නොවන බවත්, මේ හේතුවෙන් මෙම පිරිස ඩෙංගු රෝගයට ගොදුරුවන්නට ඇති බවට සැකකරන බවත් එම ප්‍රකාශකයා තවදුරටත් කීය.

ඩෙංගු වැළඳුණු රෝහල් කාර්ය මණ්‌ඩලයේ ප්‍රමාණය මීට වඩා වැඩිවිය හැකි යෑයිද කී එම ප්‍රකාශකයා එය මඟහැරවීමට නම් රෝහල් පවිත්‍රතා කටයුතු කාර්යක්‍ෂම කිරීමට පවිත්‍රතා සේවකයන් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියත් එය මෙතෙක්‌ ඉටුවී නැති බවත් කීවේය.
(ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්)