25 වැනිදා උදෑසන හෝමාගම පොලිසියේ අපරාධ අංශය වෙත සිය දෙපයින් ඇවිදගෙන ගිය 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර, ඉන් සුළු වේලාවකට පසු එළියට එන්නේ ජීවමාන මිනිසෙකු ලෙස නොවේ. ඔහුගේ සිරුර පොළොවේ ඇතිල්ලෙමින්, අත් පා වලින් ඇදගෙන විත් සිරකූඩුව අසල බිමට දමනු ඔහුගේ බිරිඳ පියුමි නිසන්සලා සියැසින් දුටුවාය.
ඒ වන විටත් ඔහුගේ දෙනෙත් පියවී තිබුණු අතර, කටින් සහ ඇස් වලින් රුධිරය වහනය වෙමින් තිබුණි. හෝමාගම, කිරිවත්තුඩුව මූණමලේගත්ත ප්‍රදේශයේ පදිංචි ඉෂාර එක්දරු පියෙකි. ඔහුගේ පුතුට වයස අවුරුදු පහකි. ඉෂාරගේ ජීවිතයේ අවසන් පැය කිහිපය පිළිබඳව ඛේදනීය කතාව සමාජය හමුවේ දිගහරින්නේ ඔහුගේ බිරිඳයි. ටෘත් විත් චමුදිත වැඩසටහනට පැමිණ ඇය මේ ගැන විස්තර කර තිබේ. ඇයට අනුව, සිය සැමියාගේ මරණය පොලිස් අත්අඩංගුවේදී සිදුවූ පැහැදිලි ඝාතනයකි.පියුමි පවසන පරිදි, 24 වැනිදා රාත්‍රී 10ත් 11ත් අතර කාලයේ මිතුරෙකුගේ නිවසට යන බව පවසා ඉෂාර නිවසින් පිටව ගොස් ඇත. පසුදින, එනම් 25 වැනිදා උදෑසන 6.50 ට පමණ ඇයට පොලිසියෙන් දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ඉෂාර අත්අඩංගුවේ පසුවන බව දන්වමිනි. අනතුරුව ලැබුණු තවත් ඇමතුමකින්, ඔහුට කමිසයක්, අයිස් බාම් එකක් සහ බීම බෝතලයක් රැගෙන එන ලෙස පොලිසිය ඇයට දැනුම් දුන්නේය. එම ඇමතුම අතරතුර සිය සැමියාගේ කටහඬ ද තමන්ට ඇසුණු බව ඇය තහවුරු කරයි.
සිය කුඩා දරුවා ද කැටුව ඇය හෝමාගම පොලිසියට යන විට වේලාව උදෑසන 8.00 ත් 9.00 ත් අතර විය. එහිදී ඉෂාර සහ ඔහුගේ මිතුරෙකු වන 'මධු' නමැත්තා අපරාධ අංශය වෙත රැගෙන යනු ඇය දුටුවාය. ඒ යන විටත් ඉෂාර කිසිදු අපහසුවකින් තොරව කෙළින් සිටගෙන ඇවිද ගිය බව ඇය පවසයි. එහෙත් සුළු වේලාවකින් අපරාධ අංශය දෙසින් මහ හඬින් කෑගසන ශබ්ද ඇසෙන්නට විය. ඉන් පසුව ඇය දකින්නේ සිහිය නොමැතිව, පොළොවේ දිගේ ඇදගෙන විත් බිම දමන සිය සැමියාගේ සිරුරයි. බිම වැටී සිටි සැමියා වෙනුවෙන් කෑගසමින් යැදුවද පොලිස් නිලධාරීන්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැත.
සිහිය නොමැති ඉෂාරව පොලිස් ජීප් රථයක නංවාගෙන හෝමාගම රෝහලට රැගෙන යනු ලබන්නේ ඉන් අනතුරුවය. බිරිඳ ඇතුළු ඥාතීහු ත්‍රීරෝද රථයකින් රෝහලට ගියහ. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය තුළ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉෂාරගේ පපුව තද කරමින් ජීවිතය බේරාගැනීමට උත්සාහ කරන අයුරු ඔවුහු දුටුවහ. මේ සියල්ල සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් සිටි පියුමිගේ දුරකථනය උදුරාගත් හෙදියන් සහ පොලිස් නිලධාරීන්, එහි වූ වීඩියෝ දර්ශන මුළුමනින්ම මකා දැමීමට කටයුතු කළ බවට ඇය චෝදනා කරයි. ඒ මොහොතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ගුරුසිංහ නමැති නිලධාරියා ද සිවිල් ඇඳුමින් එහි සිටි බව ඇය පවසයි. සුළු වේලාවකින් රෝහලෙන් ඇසුණේ ඉෂාර මියගිය බවයි.
එහෙත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පවසන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවකි. නිල ප්‍රකාශවලට අනුව ඉෂාර අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 වැනිදාය. ඊට පෙර දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී පහරකෑමට ලක්වූ ඔහු හෝමාගම රෝහලට ඇතුළත් වී වෛද්‍ය උපදෙස්වලින් තොරව රෝහලෙන් පලාගොස් ඇති බවත්, මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටි ඔහු සිරමැදිරිය තුළදී සංකූලතා පෙන්වීම නිසා රෝහල්ගත කළ බවත් පොලිසිය පවසයි.
පොලිසියේ මෙම ප්‍රකාශය පියුමි නිසන්සලා තරයේ ප්‍රතික්ෂේප කරයි. 23 වැනිදා ඉෂාර යතුරුපැදියකින් වැටී සුළු අනතුරකට ලක්ව රෝහල්ගතව සිට නිවසට පැමිණි බව ඇය පිළිගත්තද, කිසිදු පහරකෑමක් හෝ ආරවුලක් සිදු නොවූ බව ඇය පවසයි. ඇය නඟන ප්රශ්නය වන්නේ, එලෙස පහරකෑමකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි අයෙකු 25 වැනිදා උදෑසන අපරාධ අංශයට දෙපයින් ඇවිදගෙන ගියේ කෙසේද යන්නයි. මේ වන විට නිකුත් වී ඇති මරණ පරීක්ෂණයේ විවෘත තීන්දුවට අනුව, මියගිය අයගේ හිසට මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූ තුවාල ඇති බවත්, ඉළඇට තුනක් සහ ගෙල ප්‍රදේශය කැඩී ඇති බවත් වාර්තා වී තිබේ.
මෙම සිදුවීමේ ප්‍රධානතම ඇසින් දුටු සාක්ෂිකරුවා වන්නේ ඉෂාර සමඟ අත්අඩංගුවට පත් මිතුරා වන මධුය. මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔහු ද, පොලිසිය තුළදී යකඩ පටියකින් සහ හෙල්මට් එකකින් තමන්ට සහ ඉෂාරට දරුණු ලෙස පහරදුන් බව ඥාතීන්ට පවසා ඇත. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් පවසන්නේ, සාක්ෂි වසන් කිරීමේ අරමුණින් මධුට වෙනත් චෝදනා ගොනු කර බන්ධනාගාරගත කර ඇති බවයි. එමෙන්ම, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මීට පෙරද කළුතර ප්‍රදේශයේදී මෙවැනිම පහරදීමක් සම්බන්ධයෙන් ඉතිහාසයක් ඇති බවට නන්දිමාල් චෝදනා කරයි.
සිය සැමියාගේ මරණයට යුක්තිය ඉල්ලා සිටින පියුමිට සහ ඇගේ පවුලේ ඥාතීන්ට, දින 14ක් යනතුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ද මේ වන විට පොලිසිය හරහා නිවසටම ගෙනැවිත් දී තිබේ. දෑසින් දුටු සත්‍යය සහ නිලධාරීන්ගේ වාර්තා අතර පරතරය තුළ, පස් හැවිරිදි දරුවෙකුට තම පියා අහිමි වී ඇත. ඉෂාරගේ සිරුර බිම දිගේ ඇදගෙන ආ අමානුෂික දසුනත්, රෝහලේදී බලහත්කාරයෙන් මැකී ගිය වීඩියෝ දර්ශනත්, පොලිස් සිරමැදිරියක් තුළ සැබවින්ම සිදුවූයේ කුමක්ද යන බරපතළ ප්රශ්නය සමාජය හමුවේ ඉතිරි කර තිබේ.