when-the-devotees-were-attacked-with-obscene-language-they-jumped-into-the-river

කතරගම වන්දනාවේ පැමිණි බැතිමතුන් පිරිසකට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පුද්ගලයකු, පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් බේරීමට මැණික් ගඟට පැනීමෙන් අනතුරුව හිස ගලක වැදී බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.




පසුගිය 31 වැනිදා මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ කතරගම වන්දනාවේ යෙදී සිටි පිරිසකට කිසියම් පුද්ගලයකු දැඩි ලෙස බාධා කරමින් කලහකාරී අයුරින් හැසිරෙන බවට 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුවය. එම දැනුම් දීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ කතරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ස්ථානයට පිටත්ව ගොස් ඇත.

පොලිස් නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පැමිණෙන බව දුටු සැකකරු, ඔවුන්ගෙන් මිදී පළා යාමේ අරමුණින් එකවරම දිව ගොස් මැණික් ගඟට පැන තිබේ. එලෙස ගඟට පැන්න පුද්ගලයා පොලිසිය විසින් ගොඩට ගත් අවස්ථාවේදී, ඔහුගේ හිස ගඟේ තිබූ ගලක තදින් වැදී බරපතළ හානි සිදුවී ඇති අයුරු නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත.




ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් තුවාලකරු හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, තත්ත්වය බරපතළ වූ බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරු කර යවා ඇති අතර, මේ වන විට ඔහු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව කතරගම පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කතරගම නව නගරයේ පදිංචි පුද්ගලයෙකි. පොලිසිය සඳහන් කරන්නේ මොහු මීට පෙරද ගංජා ළඟ තබා ගැනීමේ සහ කසිප්පු ජාවාරම් කිරීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට පත්වූ අයකු බවයි.



සිද්ධියට අදාළව කතරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වන විටත් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටිති.