ලොව පුරා විහිදුණු ජාත්‍යන්තර සයිබර් වංචා ජාලයන්ට එරෙහි මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරමින්, අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) විශේෂඥ කණ්ඩායමක් සතියක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව විමර්ශන කටයුතු සඳහා තාක්ෂණික සහාය ලබා දී තිබේ.
නොවැම්බර් 16 වැනිදා සිට 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ මෙම සංචාරය සඳහා FBI ආයතනයේ ෂාලට් ක්ෂේත්‍ර කාර්යාලයට (Charlotte Field Office) අනුයුක්ත විශේෂ නියෝජිතයින් සහ පරිගණක විශ්ලේෂණ ප්‍රතිචාර කණ්ඩායමේ (Computer Analysis Response Team) සාමාජිකයින් හය දෙනෙකු එක්ව සිටි බව එම කාර්යාලය සිය X ගිණුම ඔස්සේ සඳහන් කර ඇත. ශ්‍රී ලංකා බලධාරීන්ගේ ආරාධනයකට අනුව මෙම කණ්ඩායම දිවයිනට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කර තිබේ.
සයිබර් වංචා මධ්‍යස්ථාන බවට සැක කෙරෙන ස්ථාන සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා මෙම කණ්ඩායම සිය විශේෂිත තාක්ෂණික දැනුම සහ ඩිජිටල් අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක (Digital Forensics) සහාය මෙරට නිලධාරීන් වෙත ලබා දී ඇත. මෙම සංචාරය අතරතුරදී ඔවුන් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ තාක්ෂණික සහාය ඒකකය ඇතුළු පොලිස් ඒකක කිහිපයක නිලධාරීන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද වැටලීම්වලදී සොයා ගන්නා ලද ඩිජිටල් සාක්ෂි උකහා ගැනීමට සහ ඩිජිටල් සාක්ෂි පිළිබඳ පුහුණුව ලබා දීමට මෙම කණ්ඩායම දායක වූ බවයි. ඒ අනුව, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වංචා මධ්‍යස්ථාන පිළිබඳ විමර්ශන දෙකක් සමාලෝචනය කිරීමටත්, ඩිජිටල් සාක්ෂි ලබා ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග 80කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කිරීමටත් මෙම FBI කණ්ඩායම පියවර ගෙන ඇත.
දේශසීමා ඉක්මවා යන අපරාධ, සයිබර් වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධ විමර්ශනවලදී භාවිත කරන නවීනතම උසස් තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව FBI නියෝජිතයින් විසින් මෙරට විමර්ශකයින් දැනුවත් කරනු ලැබූ බව සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසීය. දෙපාර්ශ්වය අතර දීර්ඝ සාකච්ඡා මෙන්ම දැනුම හා අදහස් හුවමාරු කර ගැනීම් සිදු වූ බවත්, ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් එකඟ වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ජාත්‍යන්තර අපරාධ ජාලයන් ලොව පුරා සිටින වින්දිතයින්ගෙන් ඩොලර් බිලියන ගණනක් සොරකම් කරන බැවින්, දේශසීමා හරහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර සහයෝගීතාව අත්‍යවශ්‍ය බව අමෙරිකානු තානාපති කාර්යාලය අවධාරණය කරයි. අමෙරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයන් සයිබර් වංචාවලින් ආරක්ෂා කර ගැනීමටත්, අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවාලීමටත් මෙම හවුල්කාරිත්වය ඉවහල් වන බව තානාපති කාර්යාලය පවසයි.
FBI කණ්ඩායමේ සංචාරය අවසන් වුවද මෙම මෙහෙයුම් නතර නොවන බව අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. අමෙරිකානු සහ ශ්‍රී ලාංකික නීතිය ක්‍රියාත්මක කරන හවුල්කරුවන් ඉදිරියටත් තොරතුරු ඔස්සේ හඹා යමින්, විමර්ශන ශක්තිමත් කරමින් සහ ජාත්‍යන්තර අපරාධ ජාල බිඳ දමමින් සිය කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇත.