රුවන්වැලිසෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අධිකරණයෙන් නියෝගයක් නිකුත් වී තිබියදීත්, අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) තෙවැනි දිනටත් ක්‍රියාත්මක ය. එහෙත් මෙම විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත්, සත්‍යග්‍රහය වෙනුවෙන් 'සක් පිඹි' පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට අනාවරණය වී ඇත්තේ වෙනත් කතාවකි.
ඔහු හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බව මත්ද්‍රව්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.බාලදොර රන්කිරියලාගේ ප්‍රසාද් සුසන්ත ජයසිරි නොහොත් දහම් ප්‍රසාද් නමැති. මෙම සක් පිම්බ පුද්ගලයා රත්නපුර මල්වල පදිංචිකරුවකු වන අතර රත්නපුර ගොඩිගමුව, ඩිපෝ හන්දිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහැරි බවට තොරතුරු පළවිය. වත්මන් ආන්ඩුව හේතුවෙන් ඒවා කරගෙනයාමේ අපහසුවක් ඇති වී ඇති නිසා මෙම විරෝධතාවන්ට සම්බන්ධව වාසි අත්කරගන්නට උත්සාහ දරන අයෙකු ලෙස විවේචන පළව ඇත.
මොහුව මින් ඉහතදීද 2025.03.22 බොරැල්ල පොලිස් ස්ථානය මගින් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් අවස්ථාවකදී රත්නපුර පොලීසිය අයිස් මත්ද්‍රව්‍ය සමග අල්ලා තිබෙන බවත් වාර්තා විය.
පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගත් සැකකරුගේ රුධිරයේ හෙරොයින් සහ ගංජා අඩංගු බවට තහවුරු වීමෙන් පසු, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. උණුසුම්කාරී අවස්ථාවේදී එම ස්ථානයෙන් පලාගිය තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ද මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ ගිහි පිරිසක් පසුගිය 07 වැනිදා පෙරවරුවේ රුවන්වැලිසෑය භූමියේ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු උදෑසන 9.00 ට පමණ මෙම සත්‍යග්‍රහය ආරම්භ කළහ. ඒ, පූජාභූමිය ඉදිරිපිට ඇති දන්සල් භූමියේ අට්ටාලයක් ද ඉදිකරමිනි. එම ස්ථානයේ තාවකාලික ඉදිකිරීම් සිදු නොකරන ලෙස පොලිසිය කල්තියා දැනුම් දී තිබුණ ද, එම උපදෙස් නොතකා මෙම විරෝධතාව ආරම්භ වී තිබිණි. ඊට සහාය පළ කරමින් අනුරාධපුර හිටපු නාගරික මන්ත්‍රීවරියක වන සුරංගි රත්නායක සහ දහයියාගම පදිංචි උදිත නිශාන්ත ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
කෙසේ වෙතත්, සත්‍යග්‍රහය පැවති භූමියේ අයිස්ක්‍රීම් අලෙවි කරන ජංගම වෙළෙන්දකු මීට විරෝධය පළ කිරීමත් සමග තත්ත්වය උණුසුම් විය. වෙළෙන්දාගේ විරෝධයට උදිත නිශාන්ත නමැත්තා ඇතුළු ගිහි පිරිසක් මැදිහත් වීමෙන් ඇති වූ බහින්බස්වීම දුරදිග ගියේය. ඊට පොලිස් නිලධාරීන් ද මැදිහත් වූ අතර, ගිහි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය සහ මහා සංඝරත්නය අතර දැඩි නොසන්සුන්තාවක් හටගත්තේය.
මෙම කලහකාරී තත්ත්වය අතරතුර සක් පිඹිමින් සිටි අදාළ පුද්ගලයා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුව රැගත් පොලිස් ජීප් රථය එම ස්ථානයෙන් ඉවත් වන අවස්ථාවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය මැද පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් බිම ඇද වැටී ඇති අතර, උන්වහන්සේට සහ තවත් හිමිවරුන් කිහිප නමකට සුළු තුවාල සිදුවිය. සිද්ධියෙන් තුවාල ලැබූ අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු 48 හැවිරිදි උප පොලිස් පරීක්ෂක පී.ඩබ්ලිව්.එන්. විතාන සහ 23 හැවිරිදි පොලිස් කොස්තාපල් සෙනවිරත්න (107320) අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.
මෙම සිදුවීමෙන් පසු උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී. ධනපාල මහතාගේ උපදෙස් මත, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මාල් රත්නායක ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණියහ. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ද එම අවස්ථාවේදී අදාළ ස්ථානයට පැමිණි බව වාර්තා වේ.
තම අට්ටාලයට හානි සිදුවූ බව පවසන භික්ෂූන් වහන්සේලා, පූජා භූමියෙන් ඉවත් වන ලෙසට වූ අධිකරණ නියෝගය ද නොතකමින් තෙවැනි දිනටත් අඛණ්ඩව එම ස්ථානයේ රැඳී සිටිමින් සත්‍යග්‍රහයේ නිරත වෙති.