the-true-story-of-gampaha-wickramarachchi-university-which-created-a-rag-because-of-a-poem

සමාජ මාධ්‍යයේ සංසරණය වූ එක්තරා පැරණි කවියක් සහ ආපන ශාලාවේ තදබදය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පීඨය තුළ පසුගියදා උණුසුම් තත්ත්වයක් නිර්මාණය කළේය. පසුගිය 2 වැනිදා සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මෙම නොසන්සුන්තාව 'නවක වධය' ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද, විශ්වවිද්‍යාල බලධාරීන් සහ පොලිසිය තහවුරු කරන්නේ එයට මුල් වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනත් ගැටලුවක් බවයි.




මේ සම්බන්ධයෙන් ඊයේ (04 වැනිදා) අදහස් දැක්වූ පීඨාධිපතිනී මහාචාර්ය ප්‍රියානි පීරිස් අවධාරණය කළේ මෙය කිසිසේත්ම නවක වධ සිදුවීමක් නොවන බවයි. ඇයට අනුව, ගැටුම හටගෙන ඇත්තේ තෙවැනි සහ සිව්වැනි වසරවල සිසුන් පිරිසක් අතර වන අතර, පළමු, දෙවැනි හෝ අවසන් වසර සිසුන් ඊට සම්බන්ධ වී නැත. කෙසේ වෙතත්, සිද්ධිය වන අවස්ථාවේ ඔවුන් ද එම ස්ථානයේ රැඳී සිට තිබේ. එම අවස්ථාවේ පටිගත කරන ලද වීඩියෝවක් යොදා ගනිමින් විශ්වවිද්‍යාලය තුළ නවක වධය ක්‍රියාත්මක වන බවට හුවා දක්වමින් එහි කීර්තිනාමයට හානි කිරීමේ සැලසුම් සහගත උත්සාහයක් පවතින බව මහාචාර්යවරිය පෙන්වා දුන්නාය. වසර ගණනාවක සිට විශ්වවිද්‍යාලය නවක වධයෙන් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යන බවත්, නවක සිසුන් සාමකාමීව සිය අධ්‍යයන කටයුතු සිදුකරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම සිදුවීමට 'නවක වධය' යන වචනය ඈඳීමට සැබෑ හේතුව යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. ජයරත්න මහතා අනාවරණය කළේය. මීට වසර දෙකකට පමණ පෙර පළමු වසරේ ඉගෙනුම ලැබූ නවක සිසුවකු විසින් නවක වධය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයට එක් කළ කවියක් දින කිහිපයකට පෙර යළිත් සංසරණය වීම මෙම අර්බුදයට මුලයි. එම කවිය නැවත ඉස්මතු වීමෙන් අපහසුතාවට පත් වූ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක්, විශ්වවිද්‍යාල ආපන ශාලාව තුළදී අදාළ සිසුවාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට යාමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ.




මෙම ගැටුම ආපන ශාලාව තුළ දුරදිග යාමට තවත් පසුබිම් කාරණයක් ද බලපා ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පෙන්වා දෙයි. මේ වන විට පීඨයේ සිසුන් හයසියයක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන නමුත්, ඒ කිසිවකුටත් සෑහෙන පරිදි ආපන ශාලා පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙවැනි නොසන්සුන්තාවන් සඳහා රුකුලක් වී ඇත.

කෙසේ වෙතත්, සිද්ධියට මුහුණ දුන් සිසුවා පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) කළ දැනුම් දීමකට අනුව මේ වන විටත් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ. තමන්ට පාඩුවේ සිය අධ්‍යයන කටයුතු කරගෙන යාමට ඉඩ ලබාදෙන ලෙස අදාළ සිසුවා ඉල්ලා ඇත. මේ දිනවල විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු පැවැත්වෙන බැවින්, එළඹෙන සෙනසුරාදා (07 වැනිදා) දෙපාර්ශ්වයම කැඳවා ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඊට සමගාමීව, සිද්ධිය අවස්ථාවේ විනය විරෝධී ලෙස හැසිරුණු සිසුන්ට එරෙහිව විශ්වවිද්‍යාලය මට්ටමින් මෙන්ම පොලිසිය මගින් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පීඨාධිපතිනිය තහවුරු කළාය.