රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු දෙස "කරනවාද නැද්ද" යන කළු-සුදු කෝණයෙන් පමණක් නොබලා, රජය ක්‍රියාත්මක කරන සමස්ත වැඩපිළිවෙළ තුළින් එය මැන බලන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියාය. වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඇය අවධාරණය කළේ, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ පොදු ඉලක්කය කරා යන ගමනේදී ගැටෙන තැන් ඇති විය හැකි වුවද, එක් කරුණක් පමණක් මුල් කරගෙන රජයේ මැදිහත්වීම විනිශ්චය කිරීම සාධාරණ නොවන බවයි.
ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සේවාවන්හි වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ ඇය, භාණ්ඩාගාරයේ පවතින සීමාවන් සහ දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද රාජ්‍ය සේවයට ලබා දිය හැකි උපරිම වැටුප් වැඩිවීම අදියර තුනකින් ලබා දීමට පියවර ගත් බව පෙන්වා දුන්නාය. ඒ අනුව 2027 වසර වන විට ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සියලු දෙනාගේම වැටුප් සියයට 70 සිට 77 දක්වා ඉහළ යන බව ඇය සඳහන් කළාය. එමෙන්ම මූලික වැටුප් වැඩි කිරීමට අමතරව පසුගිය අයවැයෙන් මෙන්ම මෙවර අයවැයෙන්ද බදු ගෙවීමේ සීමාව ඉහළ දැමීමට රජය කටයුතු කළ බව සිහිපත් කළ අතර, එම සීමාව වෙනස් නොකළේ නම් මේ වන විට පළමු ශ්‍රේණියේ සියලුම ගුරුවරුන් බදු ගෙවීමට යටත් වන බවද එම සාකච්ඡාවේදී පෙන්වා දෙන ලදී.
කෙසේ වෙතත්, මෙම පොදු වැටුප් වැඩිවීමෙන් රාජ්‍ය සේවයේ හෝ ඒ ඒ සේවාවන්හි පවතින වැටුප් විෂමතාවලට විසඳුමක් නොලැබෙන බව රජයක් ලෙස ආරම්භයේ සිටම පුන පුනා පිළිගත් බව අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය. එම විෂමතා නොසලකා හැර නොමැති බවත්, ඊට විසඳුම් සෙවීම සඳහා 2026 ජූනි 22 වැනිදා වසරක කාලයකට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිසන් සභාවක් පත් කළ බවත් ඇය පැවසුවාය. එළඹෙන ජූනි මාසය වන විට එම කොමිසමේ වාර්තාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඒ අනුව වැටුප් විෂමතා නිරවුල් කිරීම සඳහා 2028 වසරට ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ඇය පැහැදිලි කළාය. දෙසැම්බර් මාසය දක්වා කොමිසම වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පවත්වන බැවින් එහි ගොස් සිය යෝජනා ඉදිරිපත් කරන ලෙසද ඇය වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියාය.
රජයේ අධ්‍යාපන මැදිහත්වීම සුබෝධිනී වාර්තාව පමණක් පාදක කර ගනිමින් මැනීම වෙනම කතාවක් බව පැවසූ ඇය, ගුරුවරුන්ට කුමන වැටුපක් ලබා දුන්නද පාසලේ ජලය ඇතුළු මූලික පහසුකම් නොමැති නම් ඔවුන්ට සිය කාර්යභාරය ඉටු කළ නොහැකි බව පෙන්වා දුන්නාය. වැටුප්, පාසල් යටිතල පහසුකම්, ගුරු පුහුණුව, වෘත්තීයභාවය උපාධි මට්ටම දක්වා ඉහළ නැංවීම සහ චක්‍රලේඛ ගැටලු විසඳීම යන සියල්ල එකම පැකේජයක් ලෙස දැකිය යුතු බව ඇයගේ අදහස විය. ගුරුවරුන්ට ගරුත්වයෙන් ජීවත් විය හැකි වැටුපක් සහ රැකියාව කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අවසන් අරමුණ වන්නේ රටේ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම බවත්, මේසය වටා අසුන්ගෙන සිටින වෘත්තීය සමිති නියෝජිතයින්ද හුදෙක් වෘත්තිය රැක ගැනීමට පමණක් නොව සමස්ත අධ්‍යාපනය පිළිබඳ හැඟීමකින් සාකච්ඡා කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඇය සඳහන් කළාය.
2024 වසරේදී ආණ්ඩුව භාර ගන්නා විට සියලු කටයුතු නතර වී ආයතන පද්ධතියම කඩා වැටී තිබූ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, ආර්ථිකය යථා තත්ත්වයට පත් වන තුරු බලා නොසිට පසුගිය වසර දෙක තුළ අධ්‍යාපන ක්ෂේත්රයේ පියවර ගණනාවක් ආරම්භ කළ බව කියා සිටියාය. සුසිල් ප්‍රේමජයන්ත විද්‍යාපීඨ උපාධි මට්ටම දක්වා ගෙන යන බව ප්‍රකාශ කළද, ඒවායේ නේවාසිකාගාර ගැටලු පැවති බවත්, ජලය, විදුලිය හෝ අන්තර්ජාල පහසුකම් නිසි ලෙස නොතිබූ බවත් ඇය පෙන්වා දුන්නාය. 2024 සහ 2025 වන විට ජාතික අධ්‍යාපන ආයතනය පවා ගුරුවරුන්ට උපාධි පිරිනැමිය හැකි මට්ටමක නොතිබූ බවත්, එහි පැවති විශාල පුරප්පාඩු පිරවීමට අනුමැතිය ලබාගෙන 2027 ජනවාරි මාසයේදී 294 දෙනෙකු පමණ බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඇය හෙළි කළාය.
විද්‍යාපීඨ උපාධි මට්ටමට උසස් කිරීමේ වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ කර ඇති අතර, එළඹෙන වසර සඳහා පමණක් විද්‍යාපීඨ වෙනුවෙන් රුපියල් මිලියන 3,450ක් වෙන් කර ඇති බව ඇය සඳහන් කළාය. එමෙන්ම ආණ්ඩුව භාර ගන්නා විට රුපියල් 4,500ක්ව පැවති විද්‍යාපීඨ ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 10,000 සිට රුපියල් 20,000 දක්වා දෙගුණ කර ඇති බවද ඇය පැවසුවාය. පසුගිය ආණ්ඩු නොගත් පියවර ගණනාවක් මෙම වසර දෙක තුළ ආරම්භ කර ඇති බව කොතරම් විරුද්ධ වුවද ජෝසප් සහෝදරයාට පවා සුළු වශයෙන් හෝ පිළිගැනීමට සිදුවන බව ඇය එහිදී සඳහන් කළාය. තවද අධ්‍යාපන සභාව පිහිටුවීමට අදාළ වාර්තාව වෙබ් අඩවියේ පළ කර ඇති බවත්, එය ප්රමිතිකරණය වෙනුවෙන් පිහිටුවන නමුත් ඊට අදාළ වන වෘත්තීයභාවය, වැටුප් සහ දීමනා පිළිබඳවද නිර්දේශ ලබා දීමේ හැකියාව එම සභාවට පවතින බවත් ඇය පැහැදිලි කළාය.
මූල්‍ය වියදම් සම්බන්ධයෙන් නැගුණු කරුණකට ප්‍රතිචාර දක්වමින් ඇය පිළිගත්තේ එය රජයටද විශාල ගැටලුවක්ව පවතින බවයි. එළඹෙන වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 78ක් වැය කිරීමට නියමිත බවත්, එම මුදල නිසි ලෙස වියදම් කළ හැකි පරිදි රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු බවත් ඇය කියා සිටියාය. ඇතැම් විට මීට වඩා මුදල් වෙන් කිරීමේ හැකියාව තිබුණද, රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින දුර්වලතා හේතුවෙන් සීමාවන් පනවා ගැනීමට සිදුව ඇති බව ඇය අවධාරණය කළාය.
මෙම වැඩපිළිවෙළ 2027 අයවැයෙන් අවසන් වන කතන්දරයක් නොව පියවරෙන් පියවර සැලැස්මක් අනුව ඉදිරියට යන ගමනක් බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, වෙනත් කිසිදු වෘත්තීය සමිතියක් සමඟ තමා මෙතරම් විවෘතව කරුණු නොපවසන බවද කියා සිටියාය. අවසන් ඉලක්කය කුමක්ද යන්න පිළිබඳව කිසිවෙකු අතර වෙනස්කම් නොමැති වුවද, ගමන යන අතරතුර ගැටෙන තැන් මතු විය හැකි බවත්, කළු-සුදු ප්‍රශ්න කිරීම් මත රැඳෙමින් එම ගමන ඉදිරියට ගෙන යා නොහැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.