sri-lanka-must-admit-that-war-crimes-occurred---office-of-the-high-commissioner-for-human-rights

මෙරට පැවති සන්නද්ධ ගැටුම අවසන් වී දශක දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති පසුබිමක, යුද සමයේ මානුෂීය ආධාර මෙහෙයුම්වලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාව නැවතත් තියුණු මතභේදයක් නිර්මාණය කර තිබේ. යුද සමයේ අවසන් අදියරේදී මානුෂීය ආධාර සේවකයින් ඝාතනය කිරීම, රෝහල්වලට ප්‍රහාර එල්ල කිරීම සහ සිවිල් වැසියන්ට ආහාර හා වෛද්‍ය ආධාර ලබාදීම සීමා කිරීම සම්බන්ධයෙන් වසර 20කට පසුවත් වගකිව යුත්තන්ට දඬුවම් ලැබී නොමැති බව එම වාර්තාව පෙන්වා දෙයි.




2006 සිට 2009 දක්වා කාලය තුළ මානුෂීය ආධාර සේවකයින් 66 දෙනෙකු ඝාතනයට ලක්වී ඇති බව අනාවරණය කරන මහකොමසාරිස් කාර්යාලය, මෙරට පැවති සන්නද්ධ ගැටුම්වලදී යුද අපරාධ සිදුවූ බව ශ්‍රී ලංකාව පිළිගත යුතු බව පවසයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු බවද එම කාර්යාලය අවධාරණය කරයි. ඊට අමතරව, මානුෂීය සේවකයින්ට සහ වෛද්‍ය පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද වාර්තාවේ සඳහන් වේ.

මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ බවට සාධාරණ හේතු ඇති නිලධාරීන් තනතුරුවලින් ඉවත් කළ යුතු බවත්, ඔවුන් උසස් තනතුරුවලට පත් කිරීමෙන් වැළකිය යුතු බවත් මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.




මෙම වාර්තාව නිකුත් කිරීමට පෙර රජය සමඟ සිදුවූ සන්නිවේදන හිඩැසක් පිළිබඳවද එහිදී අවධානය යොමු වී ඇත. යුද සමයේ මානුෂීය ආධාර මෙහෙයුම්වලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 24 වැනිදා ශ්‍රී ලංකා රජයට ප්‍රශ්න 27ක් යොමු කළ බවත්, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා වන විට ඊට පිළිතුරු ලබා දෙන ලෙස දැනුම් දුන්නද රජයෙන් කිසිදු පිළිතුරක් නොලැබුණු බවත් මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මෙම චෝදනා සහ රජයේ නිහඬතාව සම්බන්ධයෙන් හිටපු හමුදා ප්‍රධානීන් සහ දේශපාලන නියෝජිතයන් දැඩි ප්‍රතිචාර දක්වා තිබේ. හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා මෙම වාර්තාව හඳුන්වන්නේ "නින්දිත වාර්තාවක්" ලෙසිනි. වාර්තාවටම අනුව සැප්තැම්බර් 24 වැනිදා ප්‍රශ්න 27ක් යොමු කර ඇති බවත්, නොවැම්බර් 3 වැනිදා වාර්තාවේ පිටපතක් රජයට එවා ඇති බවත් පෙන්වා දෙන ඔහු, ඒ දෙකටම ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම වාර්තාව නිකුත් කළ බව මානව හිමිකම් කොමසාරිස්වරයා පවසන බව සඳහන් කරයි.



"එහෙමනම් ඇත්ත වශයෙන්ම එහෙම කළා නම් එතකොට ඇයි ඒ සාවද්‍ය වාර්තාවට ප්‍රතිචාර දැක්වූවේ නැත්තේ?" යනුවෙන් ප්‍රශ්න කරන සරත් වීරසේකර මහතා, දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය ආකාරයට මෙවැනි වාර්තාවක් නිකුත් වීම සම්බන්ධයෙන් රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවට චෝදනා කරයි. රජය ප්‍රතිචාර නොදැක්වීම "ඉතාම පහත් විදියේ දේශද්‍රෝහී ක්‍රියාවක්" ලෙස සලකන බවද ඔහු පවසයි.

ලෝකයේ විශාලතම ප්‍රාණ ඇපකරුවන් පිරිස වන 295,000ක් බේරාගනිමින් යුද්ධය ජයග්‍රහණය කළ ලෝකයේ එකම හමුදාව ශ්‍රී ලංකා හමුදාව බව සිහිපත් කරන හිටපු අමාත්‍යවරයා, එවැනි විශිෂ්ට සේවයක් කළ හමුදාවට එරෙහිව අහිංසක වැසියන් ඝාතනය කළ බවට හා අතුරුදන් කළ බවට ගෙන එන්නේ ඉතාම සාවද්‍ය චෝදනා බව අවධාරණය කරයි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ හිටපු ආඥාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය බොනිෆස් පෙරේරා මහතාද මහකොමසාරිස් කාර්යාලයේ චෝදනා සහ ප්‍රසිද්ධියේ සමාව ගැනීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා කිසි විටෙකත් රෝහල්වලට, පාසල්වලට, ආගමික මධ්‍යස්ථානවලට හෝ සිවිල් වැසියන් ගැවසෙන ස්ථානවලට ප්‍රහාර එල්ල නොකළ බව ඔහු පවසයි.

යුද බිමේදී හමුදාව මුහුණ දුන් දුෂ්කර තත්ත්වය විස්තර කරමින් ඔහු සඳහන් කරන්නේ, ත්‍රස්තවාදීන් වෙඩි තැබූ බොහෝ අවස්ථාවල සිවිල් වැසියන්ට තුවාල සිදුවේ යැයි යන බිය නිසා හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටි බවයි. "අපි වෙඩි කෑවා, අපි මැරුණා, අපි තුවාල වුණා. නමුත් අපි හරි පරෙස්සම් වුණා නැවත ප්‍රතිප්‍රහර එල්ල නොකර ඉන්න," යනුවෙන් පවසන ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා, පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ක්‍රියා කළේ එවැනි තත්ත්වයක් යටතේ බව පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ප්‍රසිද්ධ සමාවක් අපේක්ෂා කරද්දී, ඊට පිළිතුරු ලෙස හිටපු වන්නි ආඥාපතිවරයා ඉදිරිපත් කරන්නේ සෘජු ස්ථාවරයකි. "ප්‍රසිද්ධියේ සමාව ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැත්තේ ප්‍රසිද්ධියේ වරදක් කරලා නැති නිසා," යනුවෙන් ඔහු සඳහන් කරයි.