
අවුරුදු 18ට අඩු එක් තරුණයකු පමණක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් වූ 2022 වසරේ සිට, වයස අවුරුදු 5ත් 14ත් අතර දරුවන් පවා මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ ඛේදනීය තත්ත්වයක් දක්වා ශ්‍රී ලංකාව ගමන් කර තිබේ. රුපියල් බිලියන 224ක දැවැන්ත මත්ද්‍රව්‍ය වෙළෙඳපොළක් හරහා රට තුළ නිර්මාණය වී ඇති 'කළු රාජ්‍යය' සම්පූර්ණයෙන්ම බිඳ හෙළන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති "ඉවත්වෙනු" මෙහෙයුමේ වසරක ඇගයුම් සහ ආගමික සමුළුව අමතමිනි. විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීම සඳහා සමාජයේ මතවාදී සහ ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීමේ ප්රමුඛ කාර්යභාරය භාරගන්නා ලෙස ඔහු එහිදී සියලුම ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. මීට සමගාමීව "රටම එකට" ජාතික මෙහෙයුමේ නිල වෙබ් අඩවිය වන www.1818.gov.lk ජාලගත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මත්ද්‍රව්‍ය උවදුර දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වාත්, පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම ගෞරවයට පාත්‍ර වූ ආගමික සංස්ථා දක්වාත් පැතිරී ඇති ආකාරය ජනාධිපතිවරයා සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය. 2025 වසර වන විට අවුරුදු 18ට අඩු තරුණයන් 1,874ක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව තිබේ. ඊට අමතරව වයස අවුරුදු 14ත් 18ත් අතර දරුවන් 1,068ක්, අවුරුදු 5ත් 14ත් අතර දරුවන් 13 දෙනෙක් සහ දැරියන් දෙසිය ගණනක් ද මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත. මේ අතර, අවුරුදු 18ත් 21ත් අතර තරුණයන් 10,889ක් සහ 21ට වැඩි තරුණයන් 11,737ක් ද අත්අඩංගුවට ගත් පිරිසට අයත් වේ. තමන්ගේ සම්පූර්ණ ජීවිත කාලයම දරුවන් වෙනුවෙන් කැපකරන දෙමාපියන්ගේ දෑස් ඉදිරිපිටම මෙම මහා රාක්ෂයා ඔවුන්ගේ අනාගතය බිලිගනිමින් සිටින බව ඔහු සංවේදීව සිහිපත් කළේය.
මෙම ව්‍යසනයේ පරිමාව කෙතරම්ද යත්, මේ වසර තුළ පමණක් විවිධ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4,38,330ක මුළු ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. අයිස් කිලෝග්‍රෑම් 6,528ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 4,000ක්, හෂීස් කිලෝග්‍රෑම් 1,841ක්, කොකේන් කිලෝග්‍රෑම් 314ක් සහ මත්පැති මිලියන 45කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,598ක් ද ඊට අයත් වේ. ඊයේ උදෑසන ද අයිස් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 150ක් අත්අඩංගුවට ගෙන තිබිණි. ගංජා ද ඇතුළුව අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍යවල සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 224කි.
මෙම අතිවිශාල කළු සල්ලි හරහා රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පොලීසිය පමණක් නොව දේශපාලනඥයන් පවා මිලදී ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමත් වී ඇති බව ජනාධිපතිවරයා අනාවරණය කළේය. අතීතයේදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් බවට පත්වෙමින් දේශපාලන ව්‍යාපාර ගොඩනැගූ බව පෙන්වා දුන් ඔහු, මෙම කළු රාජ්‍යය බිඳ නොදමා දරුවන්ට විශ්වාසවන්ත අනාගතයක් නිර්මාණය කළ නොහැකි බව අවධාරණය කළේය.
මෙම ජාලය සහ අපරාධ යාන්ත්‍රණය බිඳ දැමීම සඳහා රජය මේ වන විටත් දැඩි පියවර ගෙන තිබේ. විවිධ නම්වලින් පෙනී සිටිමින් ගම් හා නගර භීතියට පත්කළ පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇති අතර, විදේශයන්හි සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 67 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගෙන ඇත. තවත් 112 දෙනෙකු සඳහා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඔවුන්ගේ රුපියල් මිලියන 4,500ක් වටිනා දේපළ තහනම් කර තිබේ. ඊට අමතරව, හමුදා කඳවුරුවලින් පවා පිටවී ගොස් ඇතැයි විගණන වාර්තාවලින් හෙළි වූ ටී-56 ස්වයංක්‍රීය ගිනි අවි 97ක්, පිස්තෝල 143ක්, රිවෝල්වර 105ක් සහ ඒ.කේ. 47 ගිනි අවියක් ද මේ වසර තුළ අත්අඩංගුවට ගත් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් හෙළි කළේය.
මත්ද්‍රව්‍ය ජාලය මුලිනුපුටා දැමීමේ මෙම තීරණාත්මක මෙහෙයුමට සහාය පළ කරමින් දිවයිනේ ප්‍රධාන ආගමික නායකයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහ ලේඛකාධිකාරී පූජ්‍ය බලපිටියේ සිරි සීවලී සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය වළේබොඩ ගුණසිරි යන නාහිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය ඊට වැඩම කළහ. අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා ඇතුළු කතෝලික පූජකවරු, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා ඇතුළු හින්දු පූජකවරු මෙන්ම ෂෙයික් මොහොමඩ් අර්කම් නුරාද්දින් ඇතුළු මවුලවිවරු ද මීට සහභාගී වූහ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා මෙන්ම කලාකරුවන්, ක්‍රීඩකයන් සහ මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටි මෙම සමුළුව, මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව සමස්ත සමාජයම එකම පෙරමුණකට පැමිණීමේ අවශ්‍යතාව මනාව තහවුරු කළේය.
