අනුරාධපුර පූජා භූමියේදී එල්ල වූ ආන්දෝලනාත්මක ප්‍රහාරයෙන් අනතුරුව සිය මරණය අපේක්ෂාවෙන් එල්ල කළ පොලු පහරකින් තමන් දිවි ගලවා ගත්තේ රුවන්වැලි මහා සෑයේ ආශිර්වාදයෙන් බව රාජාංගණයේ සද්ධාරතන හිමියෝ පවසති. ඊයේ (14) සිය යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ අවධාරණය කළේ, කෑලි කෑලිවලට කැපුවද අයුක්තියට එරෙහිව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන 'Clean Sri Lanka' වැඩපිළිවෙළ වෙනුවෙන් දිවි පුදන්නට තමන් සූදානම් බවයි.
ප්‍රහාරය පිළිබඳව විස්තර කරමින් සද්ධාරතන හිමියන් සඳහන් කළේ, සිය සුෂුම්නාව ඉලක්ක කර ගනිමින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල වුවද එය ගෙල ප්‍රදේශයට වැදීමෙන් තමන්ගේ ජීවිතය බේරුණු බවයි.
"උඹලා මේ මට පොලු පාරක් ගහලා මගේ ලේ හොල්ලලා හරි උඹලා හැදුවේ මාව මරන්න. ඒ පොලු පාර ගැහුවේ සුසුම්නාවට. මෙතනට මේ බෙල්ලට මේ පැත්තට එකක් වැදිලා තියෙනවා හරිද. සුසුම්නාවට වැදුනා නම් මම මැරෙනවා. උඹලට මාව මරන්න බෑ. හරිද. මොකද ඔය මහා සෑයේ ආශිර්වාදය මට තියෙනවා. "
මගේ ලේ හැලෙනවා දැකලා එතැනට ඇවිල්ලා මුන්ට ගහලා පන්නපු අනුරාධපුරයේ කොන්ද පණ තියෙන දේශප්‍රේමී සියලු ජනතාවට මගේ පුණ්‍යානුමෝදනාව හිමි වෙනවා යනුවෙන් පැවසූ උන්වහන්සේ, ස්වභාවධර්මයත් රුවන්වැලි සෑයත් තමන්ව ආරක්ෂා කළ බව හැඟීම්බරව ප්‍රකාශ කළහ.
වර්තමාන රජයට සහ ජනාධිපතිවරයාට පූර්ණ සහයෝගය පළ කරන සද්ධාරතන හිමියන්, රජයේ ගමනට බාධා කිරීමට උත්සාහ කරන පාර්ශ්වයන්ට දැඩි අනතුරු ඇඟවීමක්ද සිදු කළහ.
"මේ ජනාධිපතිතුමා හොඳ බෞද්ධයෙක්. උඹලා නිරාගමික label ගහපල්ලා. අර නිමල් ලන්සලාව බදාගත්ත, හරිද, ඊළඟට අරක්කුකාරයෝ ජොනියලා වගේ උන් ළඟ තියාගත්ත රාජපක්ෂලට හරි, වික්‍රමසිංහලට, ප්‍රේමදාසලට, කුඩ්ඩෝ පාතාලකාරයෝ form කරපු කාලකණ්ණින්ට උඹලා නිරාගමිකයි කියපල්ලා. නියම බෞද්ධයෙක් තමයි මේ පන්සිල් පද පහම රකින නායකයෙක්."
විශේෂයෙන්ම බලංගොඩ කස්සප, ඉත්තෑකන්දේ, උලපනේ සහ මිහින්තලේ වැනි හිමිවරුන්ගේ නම් සඳහන් කරමින් උන්වහන්සේ කියා සිටියේ, අසාධාරණ ලෙස ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට අපහාස කරමින් රට විනාශ කිරීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව තමන් දැඩිව ක්‍රියා කරන බවයි. මහානායක හිමිවරුන්ට ශාසනය පිරිසිදු කළ නොහැකි නම් එම වගකීම තමන්ට භාරදෙන ලෙසද උන්වහන්සේ එහිදී අභියෝග කළහ. බලංගොඩ කස්සප හිමියන්ට මේ වන විට අධිකරණයෙන් මානසික පරීක්ෂණයක් පවා නියම වී ඇති බවද උන්වහන්සේ සිහිපත් කළහ.
පසුගිය සමයේ ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු පිරිසකගේ මැදිහත්වීමෙන් තමන්ව නිකායෙන් නෙරපා හැරියද, රුවන්වැලි සෑයේ නායක හිමියන් සහ වැඩබලන අටමස්ථානාධිපති හිමියන් තමන්ව දරුවෙකු සේ රැකබලා ගත් බවද සද්ධාරතන හිමියෝ පැවසූහ.
"නිකායවල් වලින් දොට්ට දානකොට මාව තුරුලට අරගෙන දරුවෙක් වගේ රුවන්වැලි සෑයේ මහා නායක හාමුදුරුවෝ, වැඩ බලන අටමස්ථානාධිපති නායක හාමුදුරුවෝ බලාගත්තා. මට අවශ්‍ය කරන හැමදේම දුන්නා. "
තමන්ට කිසිදු පෞද්ගලික ධනයක් හෝ බැංකු ගිණුමක රුපියලක් හෝ නොමැති බවත්, තමන් යැපෙන්නේ මහා සෑයට බැතිමතුන් පූජා කරන පඬුරු සහ මුදල්වලින් බවත් උන්වහන්සේ දැඩිව අවධාරණය කළහ.
රෝහල්ගතව සිටියදී ජනාධිපති ආර්යාව දුරකථනයෙන් අමතා සිය සුවදුක් විමසූ බව සඳහන් කළ උන්වහන්සේ, එය තමන් කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් බව පැවසූහ.
"ඉතින් මේ විපතට පත්වෙච්ච වෙලාවේදී ඉතින් මම පිළිබඳ හොයලා බැලුවොත් එහෙම පැලවත්තෙන් plant කරා අරකයි මේකයි කියයි. හරිද. ජනාධිපතිතුමාගේ පින්වත් ආර්යාව මම රෝහලේ ඉන්නකොට මට call කරා. ඉතින් දුක සැප හොයලා බැලුවා. මම කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ එවැනි දෙයක්. හැබැයි කතා කරලා දුක සැප හොයලා බැලුවා. ඒකට පින් දෙනවා."
ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික් නායක අමාත්‍ය වසන්ත සමරසිංහ සහ අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන්ද රෝහල් බලධාරීන් හරහා තමන් පිළිබඳව සොයා බැලූ බව උන්වහන්සේ කෘතවේදීව සිහිපත් කළහ. රජයේ සේවය කරන බහුතරයක් නිලධාරීන් රට හැදෙනවාට කැමති බව පවසන උන්වහන්සේ, තමන්ට රෝහලේදී උපකාර කළ රෝහල් කාර්ය මණ්ඩලයටද විශේෂයෙන් ස්තූති කළහ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වර්තමාන අනුරාධපුර පොලිස් ස්ථානාධිපති රුක්මල් මහතා මෙන්ම හිටපු ස්ථානාධිපති ජයවීර මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ බුද්ධි අංශවල සහයෝගයද උන්වහන්සේගේ ඇගයීමට ලක්විය. එහෙත්, දිලිත් ජයවීර මහතාට සහ ඇතැම් රූපවාහිනී නාලිකාවලට දැඩි විවේචනයක් එල්ල කළ උන්වහන්සේ, ඔවුන් දූෂිතයන් සහ හොරුන් රකින බවට චෝදනා කළහ. මේ අතරතුර, සිය අසීරු අවස්ථාවේදී පෙනී සිටි මාධ්‍යවේදී පිරිසටද උන්වහන්සේ ස්තූතිය පළ කළහ.
තමා කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකරන බව පවසන සද්ධාරතන හිමියන්, මේ රට සහ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ ජනාධිපතිවරයාගේ අරමුණ වෙනුවෙන් දිගටම පෙනී සිටින බව තහවුරු කළහ.
"මිනිස්සුනි අපි සුද්ද කරමු මේ හොර ගණයෝවා. අර උලපනේ, උගේ මුහුණෙන් කසිප්පු බෝතලයක් ගන්න පුළුවන්. බේබද්දෝ, තොපි දැනගනියව්, හැප්පෙමු. අපි සූදානම්. දෙන දානේ කාලා හිටපල්ලා. මිහින්තලේ, උඹටත් කියන්නේ, උඹ මට ආරංචියි මිහින්තලේ උඹ ඊළඟ එකට කරන්නේ. උඹටත් එනවා හරි. උඹට අර මිහින්තලේ රජමහා විහාරාධිපතිකමත් ඉවරයි.
නතර වෙන්නේ හොස්පිටල් වලින් තමයි උඹට සිද්ධ වෙන්නේ. කරුණාකරලා හොඳින් කියන්නේ දෙන දානේ කාලා පාඩුවේ පන්සලට වෙලා හිටපල්ලා හොරුන්ට කඩේ යන්නේ නැතුව. ආණ්ඩුවේ වරදක් තියෙනවා නම් සාධාරණව විවේචනය කරපල්ලා. හැබැයි මේ ජනාධිපතිතුමාට අපවාද කර කරා මේ රට වනසන්න තොපි හැදුවොත්, ගෝඨාට වෙච්ච දේ තමයි තොපිට වෙන්නේ."
මේ රට හැදුනට පස්සේ මම මැරුණට කමක් නෑ. මට තියෙන්නේ මේ රට දියුණු වෙනවා දකින්න තියෙන ආසාවක් විතරයි යනුවෙන් පවසමින් සද්ධාරතන හිමියන් සිය ප්‍රකාශය නිමා කළේ, ජාති ආගම් භේදයකින් තොරව රටට ආදරය කරන සියලු ජනතාවගේ ආශිර්වාදය තමන්ට ඇති බවට වූ දැඩි විශ්වාසයෙනි.