smuggling-of-yellow-gas-cylinders-dyed-blue-arrested

වෙළෙඳපොළේ පවතින කහ ගෑස් හිඟයත්, මිල ඉහළ යාමත් හමුවේ හිස් කහ ගෑස් සිලින්ඩරවලට නිල් පැහැති තීන්ත ආලේප කර ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලෙස පෙන්වමින් සිදුකළ බව කියන සූක්ෂ්ම ජාවාරමක් කොටදෙනියාව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.




මෙම ජාවාරම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් නියෝජිතවරයකු සහ පියපුතු දෙපළක් අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දිවුලපිටිය, කුඩගම්මන ප්‍රදේශයේ පදිංචි, කොටදෙනියාව පොලිස් බලප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයකු වශයෙන් කටයුතු කළ අයෙකි. ඔහු සමඟ අත්අඩංගුවට පත් පියපුතු දෙපළ මෙම ජාවාරම සඳහා සිය ත්‍රීරෝද රථය යොදා ගනිමින් සහාය වී ඇති බව පොලිසිය පවසයි.

මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති තොරතුරුවලට අනුව, ප්‍රධාන සැකකරු සිය ගෑස් වෙළෙඳසැලේ තිබූ හිස් ලාෆ් ගෑස් සිලින්ඩර ව්‍යාජ ලෙස නිල් පැහැයෙන් වර්ණ ගන්වා තිබේ. අනතුරුව ත්‍රීරෝද රථය හිමි පියපුතු දෙපළ යොදාගෙන එම ව්‍යාජ නිල් සිලින්ඩර ප්‍රදේශයේ පිහිටි ලිට්‍රෝ ගෑස් වෙළෙඳසැල් වෙත යවා ඇත. එහිදී අලෙවිකරුවන් රවටා එම ව්‍යාජ හිස් සිලින්ඩර ලබා දී, ඒ වෙනුවට ගෑස් පිරවූ නියම ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මිලදී ගෙන ගෙන්වා ගැනීමට සැකකරු කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.




ලාෆ් ගෑස් මිල ඉහළ යාම සහ හිඟයට විකල්පයක් ලෙස මෙම ජාවාරම මෙහෙයවා ඇති සැකකරු, එලෙස වංචාකාරී ලෙස ලබාගත් ගෑස් පිරවූ නියම ලිට්‍රෝ සිලින්ඩරයක් රුපියල් 20,000 ක මිලකට අලෙවි කර ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවලින් අනතුරුව ක්‍රියාත්මක කළ වැටලීමේදී, නිල් පැහැය ආලේප කළ හිස් ගෑස් සිලින්ඩර 40 ක් සහ එවැනි ව්‍යාජ සිලින්ඩර ලබා දී මිලදී ගත් බව කියන නිල් පැහැති ගෑස් පිරවූ ලිට්‍රෝ සිලින්ඩර 3 ක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම සිලින්ඩර තොගය අලෙවි කර තිබියදී සහ ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී සොයාගත් බව කොටදෙනියාව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.