police-officer-in-uniform-who-wore-a-beard-for-a-wedding-pre-shoot-arrested-in-kandy

විවාහ මංගල්‍යයට පෙර සිය පෙම්වතිය සමඟ සුන්දර මතකයක් සටහන් කරගැනීමට මහනුවර නගර මධ්‍යයට පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුට, අවසානයේ සිදුවූයේ පෙම්වතිය එනතුරු බලා සිටියදීම මහනුවර පොලිසිය වෙත යාමටය. ඔහු මුහුණ දුන් මෙම අනපේක්ෂිත අකරතැබ්බයට හේතු වී ඇත්තේ පොලිස් නිල ඇඳුම සහ මුහුණ පුරා වවාගෙන සිටි රැවුල අතර වූ නොගැළපීමයි.




තලංගම පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් කොස්තාපල්වරයා හින්දු ජාතිකයෙකු වන අතර, ඔහුගේ විවාහ මංගල්‍යය ලබන මස 06 වැනිදාට යෙදී තිබේ. විවාහයට පෙර ගන්නා ඡායාරූප හෙවත් 'ප්‍රී ෂූට්' අවස්ථාව සඳහා සූදානම් වූ ඔහු, පොලිස් රථවාහන නිල ඇඳුමෙන් සැරසී මහනුවර යටිනුවර වීදිය සහ කොළඹ වීදිය මංසන්දිය අසල සිය පෙම්වතිය පැමිණෙන තෙක් රැඳී සිට ඇත.

කෙසේ වෙතත්, මුහුණ පුරාම රැවුල වවාගත් පුද්ගලයෙකු පොලිස් රථවාහන නිල ඇඳුමකින් සැරසී නගර මධ්‍යයේ රැඳී සිටින බවට මහනුවර පොලිසියට තොරතුරක් ලැබී තිබේ. එම තොරතුරට අනුව වහා ක්‍රියාත්මක වූ මහනුවර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයාගෙන් කරුණු විමසා ඔහුව මහනුවර පොලිසිය වෙත රැගෙන ගොස් ඇත. ඇතැම් වාර්තා සඳහන් කරන්නේ ඔහුව අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත කැඳවාගෙන ගිය බවයි.




පොලිස් ස්ථානයේදී සිදුකළ කරුණු විමසීම්වලදී හෙළි වී ඇත්තේ ඔහු ව්‍යාජ පුද්ගලයෙකු නොව සැබැවින්ම දැනට රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකු බවයි. හින්දු සම්ප්‍රදායට අනුව රැවුල වවාගෙන විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා පොලිස්පතිවරයා විසින් ඔහුට අවසර ලබා දී තිබූ බවද එහිදී අනාවරණය වී තිබේ.

පොලිස්පතිවරයාගේ අවසරය මත රැවුල වවාගෙන සිටියද, රැවුල සහිතව පොලිස් නිල ඇඳුම ඇඳ සිටීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව මත මෙම සිදුවීම හටගෙන ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් සඳහන් කර ඇත්තේ, පොලිස් නිලධාරියෙකුට මුහුණේ සම්පූර්ණයෙන්ම රැවුල වැවීමට අවසර නොමැති බවත්, ඒ හේතුව මත සැකපිට මෙම නිලධාරියාව ප්‍රශ්න කිරීම් සඳහා රැගෙන ගොස් ඇති බවත්ය.



අනතුරුව කරුණු විමසීමෙන් පසු අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදාහැරීමට මහනුවර පොලිසිය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, පෙම්වතිය පැමිණෙන තෙක් රැඳී සිටි මොහොතේ මුහුණ දීමට සිදු වූ මෙම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන්, ඔවුන් සැලසුම් කළ අන්දමින් විවාහයට පෙර ඡායාරූප ලබාගැනීමට පවා නොහැකි වී ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.