naomi-died-from-a-very-rare-complication

ජපානයේ ජීවත් වූ නයෝමිගේ ජීවිත ගමන මීට දින කිහිපයකට පෙර හදිසියේම නිමාවට පත් වන්නේ කිසිවෙකුත් නොසිතූ අයුරිනි. ඒ, ඇය සිය කුලුඳුල් දරුවා මෙලොවට බිහි කිරීමට ගිය අවස්ථාවේදීය.

ඇයගේ මරණයට හේතුව ලෙස ඇගේ සොහොයුරිය ප්‍රකාශ කර සිටියේ, දරු ප්‍රසූතියේදී ඇති වූ අතිශය කලාතුරකින් දැකිය හැකි 'උල්බ තරල එම්බොලිස්ම' (Amniotic Fluid Embolism - AFE) නම් සංකූලතා තත්ත්වයයි. සමාජය තුළ මේ පිළිබඳව මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, සාමාන්‍ය ජනතාව එතරම් අසා නොමැති මෙම ඛේදනීය තත්ත්වය නූතන වෛද්‍ය විද්‍යාවටද විශාල අභියෝගයකි.




මේ සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි ලිලානි ජයවික්‍රම මහත්මිය දැක්වූ අදහස් මත පදනම්ව බලන කල, AFE යනු ගර්භණී සමයේ වාර්තා වන ඉතාම දුර්ලභ, එහෙත් අතිශයින්ම භයානක සංකූලතාවකි. ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛනවලට අනුව මෙය ගැබ්ගැනීම් 20,000කින් එකක් හෝ 80,000කින් එකක් අතර ප්‍රමාණයකදී සිදුවිය හැක. ශ්‍රී ලංකාව වැනි රටවලද මෙය වාර්තා වන්නේ ඉතා කලාතුරකිනි.

මවකගේ කුස තුළ වැඩෙන දරුවා වටා ඇති ආරක්ෂිත දියර කවචය 'උල්බ තරලය' ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියකදී මවගේ රුධිරය සහ දරුවාගේ හෝ උල්බ තරලයේ පටක එකිනෙකට මිශ්‍ර වන්නේ නැත. ඉතා සුළු ප්‍රමාණයකින් මෙම තරලය මවගේ රුධිරයට එක් වුවද ඉන් හානියක් සිදු නොවේ. එහෙත් යම් හෙයකින් ගර්භාෂ බිත්තියේ රුධිර නාල විවෘත වීමත් සමඟ උල්බ තරලය හෝ දරුවාට අයත් සෛල කොටස් මවගේ රුධිර සංසරණ පද්ධතියට, විශේෂයෙන්ම පෙනහළු රුධිර නාල තුළට ඇතුළු වුවහොත්, එය මවගේ සිරුර තුළ දැඩි ආසාත්මිකතාවයක් වැනි ප්‍රතික්‍රියාවක් (Anaphylactoid reaction) ඇති කරයි. නයෝමිගේ සොහොයුරිය මෙය හැඳින්වූයේ "වෝටර්ඩෑග් එකට යටින් ඉතිරි වූ වතුර ඇලජි වීමක්" ලෙසිනි.




මෙම තත්ත්වයේ ඇති ප්‍රධානම අභියෝගය වන්නේ, කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව එය අකුණු සැරයක් මෙන් හදිසියේ මතුවීමයි. සාමාන්‍ය දරු ප්‍රසූතියකදී, සිසේරියන් සැත්කමකදී හෝ ප්‍රසූතියෙන් පසු විනාඩි කිහිපයක් ඇතුළත වුවද මෙය ඇතිවිය හැක. පෙනහළු වෙත රුධිරය ගමන් කිරීම හදිසියේ හිරවීමත්, රුධිරය කැටිගැසීමේ පද්ධතිය දැඩි ලෙස අවප්‍රමාණය වීමත් සමඟ සිරුර පුරා පාලනය කළ නොහැකි ලෙස රුධිරය වහනය වීම මෙහිදී සිදුවේ.

මේ තත්ත්වයට ගොදුරු වන මවකට ක්ෂණිකව හුස්ම ගැනීමේ දැඩි අපහසුතා ඇතිවන අතර, ඇය නිල් පැහැ ගැන්වී, පපුවේ තද ගතියක් හෝ වේදනාවක් අත්විඳියි. ඊට අමතරව හෘද ස්පන්දනය අක්‍රමවත් වීම, රුධිර පීඩනය හදිසියේ බිඳ වැටීම, දැඩි කලබලකාරී ගතිය, අපස්මාරය වැනි වලිප්පු තත්ත්වයන් සහ සිහි මූර්ජා වී කෝමා තත්ත්වයට පත්වීමද සිදුවිය හැක. වඩාත්ම අවදානම් සහගත තත්ත්වය වන්නේ ගර්භාෂයෙන්, නාසයෙන් හෝ එන්නත් කළ ස්ථානවලින් පාලනය කළ නොහැකි ලෙස අධිකව රුධිරය වහනය වීමයි.



මෙය කල්තියා පුරෝකථනය කිරීමට හෝ හඳුනාගෙන වළක්වා ගැනීමට කිසිදු නිශ්චිත පරීක්ෂණයක් මෙතෙක් සොයාගෙන නොමැත. වයස වැඩි මව්වරුන්, දරු ප්‍රසූතිය කෘත්‍රිමව ඉක්මන් කිරීම හෝ උත්තේජනය කිරීම, වැදෑමහ මුල් අවධියේ ගැලවීම සහ නිවුන් දරුවන් හෝ උල්බ තරලය වැඩිවීම හේතුවෙන් ගර්භාෂය අධික ලෙස ප්‍රසාරණය වීම වැනි සාධක මගින් මෙහි අවදානම වැඩි කරයි. රෝග ලක්ෂණ මතුවූ වහාම මිනිත්තු කිහිපයක් ඇතුළත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය වන අතර, මරණින් පසු පෙනහළු පටක පරීක්ෂා කිරීමෙන් පමණක් මෙය නිශ්චිතවම තහවුරු කරගත හැක. සිසේරියන් සැත්කමක් පමණක් මෙයට එකම හේතුව ලෙස සඳහන් කළ නොහැකිය.

දරු ප්‍රසූතියකදී මවකගේ ජීවිතයට තර්ජනයක් විය හැකි එකම සංකූලතාව AFE පමණක් නොවේ. ගර්භාෂය නිසි ලෙස සංකෝචනය නොවීම නිසා සිදුවන අධික රුධිර වහනය, පෙර සිසේරියන් සැත්කම් කළ මව්වරුන්ට ඇතිවිය හැකි ගර්භාෂය පැළීමේ අවදානම සහ ප්‍රසූතියෙන් පසු ඇතිවන බැක්ටීරියා ආසාදන (ප්‍රසූත උණ) ද මාරාන්තික විය හැක.

ගැබ්ගැනීමක් යනු රෝගී තත්ත්වයක් නොවුණද, ඕනෑම අවස්ථාවකදී ගර්භණී මවකට සංකූලතා ඇතිවීමේ හැකියාවක් පවතී. මේ නිසාම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පෙන්වා දෙන්නේ, කාන්තාවක් ගැබ්ගත් පසුව වෛද්‍යවරයකු හමුවනවාට වඩා, ගැබ් ගැනීමට ප්‍රථමව වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් යෝග්‍ය බවයි. එමගින් අවදානම් සාධක කල්තියා හඳුනාගෙන, මවගේ අවදානම අවම මට්ටමක පවත්වාගත හැක. නිසි පරිදි ගර්භණී සායන වෙත ගොස් සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව පරීක්ෂා කරවා ගැනීම මෙහිදී අතිශයින් වැදගත්ය.

හිසේ සිට දෙපතුල දක්වාම අවදානම් ලක්ෂණ මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. තද හිසරදය, ඇස් ඉදිරිපිට කණාමැදිරි එළි මෙන් පෙනීම (දෘෂ්ටි වෙනස්කම්), ශ්වසන අපහසුව, උණ, පපුවේ සහ බඩේ උඩ කොටසේ කැක්කුම, ඕනෑම අවස්ථාවක රුධිර වහනයක් සිදුවීම, සහ කකුලක් ඉදිමී රතු වීම වැනි සංඥා දිස්වන්නේ නම් ප්‍රමාද නොවී වහාම රෝහල්ගත විය යුතුය. ප්‍රසූතියෙන් පසුවද පැයක් තුළ සනීපාරක්ෂක තීරු එකකට වඩා තෙමී යන පරිදි රුධිරය වහනය වීම, දැඩි උදර වේදනාව හෝ ලේ කැටි පිටවීම, අධික උණ සමඟ දුර්ගන්ධයෙන් යුත් ස්‍රාවයන් පිටවීම, පාදවල ඉදිමීමක් හෝ රතු පැහැවීමක් දකින්නට ලැබේ නම් එයද නොසලකා හැරිය යුතු නොවේ.

ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීමෙන් බොහෝ අවස්ථාවලදී සංකූලතා උග්‍ර විය හැක. නයෝමිගේ අවාසනාවන්ත ඉරණමෙන් සමාජයට කියා දෙන එක් ප්‍රබල සත්‍යයක් තිබේ. එනම්, දරු ප්‍රසූතියෙන් පසු පළමු පැය 24ත් 48ත් අතර කාලය මෙන්ම, නිවසට පැමිණි පසු පළමු සති හය පුරාම මවගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි විමසිල්ලෙන් යුතුව නිරීක්ෂණය කිරීම ජීවිතයක් බේරාගැනීමේ තීරණාත්මකම සාධකය බවයි.