mother-goes-to-human-rights-organization-to-protest-against-police-shooting-at-a-three-wheeler-in-kadawatha-injuring-her-son

කඩවත, මහකඩේ හන්දියේදී පසුගිය 31 වැනිදා සවස 4.00 ට පමණ ඇසුණු වෙඩි හඬකින් 16 හැවිරිදි පාසල් සිසුවකුගේ ජීවිතය පමණක් නොව, ඔහුගේ ක්‍රීඩා අනාගතය ද දැඩි අවදානමකට ලක්ව තිබේ. පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම සිසුවාගේ මව, සිය දරුවාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ඊයේ (03) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.




එදින සවස රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් විසින් අදාළ ත්‍රීරෝද රථයට නවත්වන ලෙස සංඥා කර තිබුණි. එහෙත් එම අණ නොතකා ත්‍රීරෝද රථය ඉදිරියට ධාවනය කිරීමේදී පොලීසිය විසින් ඊට වෙඩි තබා ඇත. සිදුවීමෙන් අනතුරුව ත්‍රීරෝද රථය පැදවූ 17 හැවිරිදි තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, රථයේ පසුපස අසුනේ ගමන් ගත් 16 හැවිරිදි සිසුවා වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරිණි. දරුවාගේ මව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ පොලීසිය විසින් ත්‍රීරෝද රථයට වෙඩි ප්‍රහාර හතක් එල්ල කර තිබූ බවත්, ඉන් දෙකක් සිය දරුවාට වැදී ඇති බවත්ය.

මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය, පොලීසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රශ්න කළාය. උදෑසන ගම්පහ පොලීසියට ගොස් නිලධාරීන් හමුවූ බවත්, එහිදී ඔවුන් සාධාරණ ලෙස අදහස් දැක්වූ බවත් පැවසූ ඇය, ඉන්පසු කඩවත පොලීසියට ගොස් සිය කටඋත්තරය ලබා දී තිබේ. එහිදී ඇය පොලීසියට පවසා ඇත්තේ ගිනි අවි භාවිතය පිළිබඳ බරපතළ චෝදනාවකි.




වෙඩි තියන්න ටී-56ක් දෙද්දී එය හුරුපුරුදු කෙනෙකුට දිය යුතු බවත්, නිකම් ආවාට ගියාට පිස්සන්ට වෙඩි තියන්නට දී හරියන්නේ නැති බවත් ඇය එහිදී පවසා ඇත. එසේම වෙඩි තබන්නේ නම් රෝද දෙකට හෝ දණහිසෙන් පහළට වෙඩි තැබිය යුතු වුවත්, මෙය මනුෂ්‍යයෙකු මරන්නට බලාගෙන තැබූ වෙඩිල්ලක් වැනි යැයි ඇය චෝදනා කරයි. තව ටිකක් එහෙ මෙහෙ වූවා නම් සිය දරුවාගේ ජීවිතය අවසන් වීමට ඉඩ තිබූ බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ දරුවාගේ ශරීරය අභ්‍යන්තරයේ තවමත් යකඩ කැබලි පවතින බවත්, ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කර නොමැති බවත් මව පවසන්නීය. ඇගේ විශාලතම වේදනාව හා ගැටලුව බවට පත්ව ඇත්තේ දරුවාගේ අනාගතයට කුමක් සිදුවේද යන්නයි.



තම දරුවා අංගම්පොර, මලල ක්‍රීඩා සහ වොලිබෝල් ආදී ක්‍රීඩාවල නිරත වන බව සිහිපත් කරන ඇය, මෙම තුවාල හේතුවෙන් ඔහුට ඒවා ඉදිරියට කරගෙන යාමට හැකි වේද යන්න පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවක පසුවන්නීය. ඒ සියලු පැතිකඩයන් පිළිබඳව අවධානය යොමු කර සිය දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඇය මානව හිමිකම් කොමිසමෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නීය.