නොවැම්බර් පළමුවැනිදා රාත්‍රියේ සිට දෙවැනිදා සඳුදා අලුයම දක්වා යුරෝපය පුරා සුපිරි වෙළඳසැල් ජාල රැසක ශීතාගාර පද්ධතිවල සිදුවූයේ සිතාගත නොහැකි පෙරළියකි. සාමාන්‍යයෙන් අයිස් මිදෙන මට්ටමේ පැවතිය යුතු ශීතකරණ එකවරම උණුසුම් වාතය පිටකරමින් රත්වන්නට පටන් ගත්තේය.
අලුයම සේවයට වාර්තා කළ සේවකයන් දුටුවේ ශීතාගාර තුළ තිබූ අයිස්ක්‍රීම් සහ ශීත කළ ආහාර දියවෙමින්, නැවුම් නිෂ්පාදන සියල්ල විනාශ වෙමින් පවතින අයුරුය. ඇතැම් පද්ධතිවල උෂ්ණත්වය සෙල්සියස් අංශක පනහ ඉක්මවා සෙල්සියස් අංශක 55 දක්වාම ඉහළ ගොස් තිබිණි. සැකකටයුතු සයිබර් ප්‍රහාර මාලාවක් යුරෝපා රටවල් අවම වශයෙන් හතක සුපිරි වෙළඳසැල් වෙත එල්ල වෙමින්, සුවිශාල ආහාර තොගයක් විනාශ කර දමන්නට බලකෙරුණේ එලෙසිනි.මෙය යුරෝපය මුහුණ දුන් දෙවැනි ප්‍රහාරක රැල්ලයි. මීට පෙර පසුගිය ඔක්තෝබර් 11 සහ 12 රාත්‍රියේ ප්‍රංශයේ වෙළඳසැල් සිය ගණනක් ඉලක්ක කරගෙන මෙවැනිම දැවැන්ත සයිබර් මෙහෙයුමක් දියත් විය. ප්‍රංශය පුරා පිහිටි දසදහසක් පමණ වන වෙළඳසැල් අතුරින් 700 කට ආසන්න ප්‍රමාණයක සිසිලන පද්ධතිවල පාලනය දුරස්ථව අත්පත් කරගත් හැකර්වරුන්, සෙල්සියස් ඍණ 27 දක්වා පැවති උෂ්ණත්වය පැය හතරත් හයත් අතර කාලයක් සෙල්සියස් අංශක 50 ඉක්මවන ලෙස ඉහළ දමා තිබුණි. එහිදී ඇතැම් ආහාර පිසෙන තත්ත්වයට පත්ව තිබූ අතර කුඩා ගිනි ගැනීම් සහ ස්ප්‍රින්ක්ලර් පද්ධති ක්‍රියාත්මක වීම් පවා වාර්තා විය. ප්‍රංශ සිදුවීමේදී සිදුවූ පාඩුව යුරෝ මිලියන ගණනක් ලෙස ගණන් බලා තිබිණි.
නොවැම්බර් අලුයම සිදුවූ දෙවැනි ප්‍රහාරයේදී බෙල්ජියම සහ ලක්සම්බර්ග් රාජ්‍යය තුළ ඩෙල්හයිස් වෙළඳසැල් 40 ක් පමණද, කැරෆෝර් වෙළඳසැල් 15 ක් පමණද පීඩාවට පත් විය. ඊට අමතරව ස්පාර්, ඉන්ටර්මාෂේ සහ මොන්ස් හි පිහිටි අවම වශයෙන් එක් අයිකියා වෙළඳසැලක් ද මේ අතර විය. බෙල්ජියමේ හෝයිලාර්ට් හි ඩෙල්හයිස් ශාඛාවක පමණක් සිදු වූ නිෂ්පාදන හානිය යුරෝ ලක්ෂයක් ලෙස තක්සේරු කර තිබූ අතර, වෙළඳසැල් කළමනාකරුවන් මෙම තත්ත්වය හැඳින්වූයේ ව්‍යසනකාරී සිදුවීමක් ලෙසිනි. බෙල්ජියමේ සිසිලන පද්ධති නඩත්තු කරන සබ්කොබෙල් සමාගම තහවුරු කළේ, මෙය පද්ධතිවල ඉවැපරේටර් කොටස් වේගයෙන් උණුසුම් වන ඩිෆ්‍රොස්ට් තත්ත්වයට මාරු කරමින් එල්ල කළ සයිබර් ප්‍රහාරයක් බවයි.
ස්වීඩනයෙන් ද මෙවැනිම බරපතළ වාර්තා ලැබිණි. ෂෝබෝ ඇතුළු අයිසීඒ වෙළඳසැල් කිහිපයක සහ කූප් වෙළඳසැල් හතක පමණ ශීතකරණ සෙල්සියස් අංශක පනහ දක්වා ඉහළ දමා තිබූ අතර, ස්ටොක්හෝම්හි වෙළඳසැලක් සඳහන් කළේ අලුයම දෙකට එල්ල වූ ප්‍රහාරයෙන් සියල්ල විනාශ වූ බවයි. එහි සේවකයන්ට සිදුවූයේ දියවී නරක් වූ ආහාර ට්‍රොලිවලට පුරවා ඉවත් කිරීමටය. අයර්ලන්තයේ සුපර්වැල්යු වෙළඳසැල් 13 ක් ද, එස්තෝනියාවේ සෙල්වර් වෙළඳසැල් ද, නෙදර්ලන්තයේ කුඩා වෙළඳසැල් සහ මස් කඩ 17 ක් පමණ ද මෙම ප්‍රහාරයට ගොදුරු විය. ෆින්ලන්තයේ කෙස්කෝ වෙළඳසැල් කිහිපයක් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
තාක්ෂණික විශ්ලේෂණයන්ට අනුව, හැකර්වරුන් මෙහිදී කර ඇත්තේ අන්තර්ජාලයට සෘජුව සම්බන්ධ කර තිබූ ඩෙන්මාර්කයේ ඩැන්ෆොස් සමාගමේ සිසිලන පාලක උපාංගවල පැවති දුර්වලතාවන්ය. වීපීඑන් ආරක්ෂණයක් හෝ නිසි පැච් යාවත්කාලීන කිරීම් නොමැතිව අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි පරිදි තබා තිබූ මෙම පද්ධති තුළට ඇතුළු වූ ප්‍රහාරකයෝ, අඛණ්ඩව ඩිෆ්‍රොස්ට් ක්‍රියාවලිය ක්‍රියාත්මක වන පරිදි සැකසීම් වෙනස් කළහ. ප්‍රංශයේ ප්‍රහාරයේදී කෝප්ලන්ඩ් සහ ඩික්සෙල් වැනි වෙනත් නිෂ්පාදකයන්ගේ පද්ධති ද ඉලක්ක වී තිබිණි.
මෙම සිදුවීම් මාලාවේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ කිසිදු පාර්ශ්වයකින් කප්පම් ඉල්ලීමක් ඉදිරිපත් නොවීම හෝ වගකීම භාර නොගැනීමයි. මූල්‍යමය වාසි තකා සිදුකරන සුපුරුදු සයිබර් අපරාධවලට වඩා මෙය විනාශකාරී කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට විශ්ලේෂකයින් සැක පළ කරන්නේ එබැවිනි.
යුරෝපා සංගමයේ කෘෂිකර්ම හා ආහාර කොමසාරිස් ක්‍රිස්ටෝෆ් හැන්සන් ප්‍රකාශ කළේ, මෙය යුරෝපයේ ආහාර සැපයුම් දාමය කඩාකප්පල් කිරීමට සහ ඒ කෙරෙහි පාරිභෝගික විශ්වාසය පළුදු කිරීමට ගත් හිතාමතා කළ උත්සාහයක් බවයි. කෙසේ වෙතත් සමස්ත ආහාර සුරක්ෂිතතාවට අවදානමක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
ස්වීඩනය, බෙල්ජියම සහ ප්‍රංශය ඇතුළු රටවල ආරක්ෂක අංශ මේ පිළිබඳව විමර්ශන පවත්වන අතර, මෙහෙයුම පිටුපස සිටි පුද්ගලයන් කවුරුන්දැයි මෙතෙක් නිල වශයෙන් හෙළි වී නොමැත. නොවැම්බර් ප්‍රහාරයෙන් යුරෝපය පුරා සිදුවූ සමස්ත මූල්‍යමය හානිය මෙතෙක් ගණනය කර නොමැති වුවද, වෙළඳසැල් මට්ටමින් සිදුවූ අලාභය අතිමහත්ය. පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් නරක් වූ ආහාර සියල්ල කසළ බඳුන්වලට දැමීමට සිදුවූ අතර, නැවත තොග ලැබෙන තුරු බොහෝ රාක්ක හිස්ව පැවතිණි. අන්තර්ජාලගත තාක්ෂණික පද්ධතිවල පවතින දුර්වලතා හරහා සාමාන්‍ය ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවයට පවා කඩාකප්පල්කාරී තර්ජන එල්ල විය හැකි බව මෙම අත්දැකීමෙන් මනාව තහවුරු විය.