මාසික වැටුප රුපියල් 140,000ක් වන රාජ්‍ය නිලධාරිනියකගේ එක් මසක වාහන කල්බදු වාරිකය රුපියල් 132,000ක් විය හැකිද? මෙම මූල්‍යමය පරස්පරය සහ ගිණුම්වලට ලැබුණු අතිවිශාල සැකකටයුතු මුදල් හේතුවෙන් කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අදාළ සැකකරුවන් (03) පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන සිකුරාදා (06) දක්වා මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
අධිකරණයේදී කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ, සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ බැංකු ගිණුම් වෙත විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවයි. රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් ‘CBE 1874’ දරන රතු පැහැති හොන්ඩා වෙසල් (Honda Vezel) වර්ගයේ මෝටර් රථයක් ඇය පරිහරණය කර ඇති අතර, එය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හෝ එහි දැවැන්ත ලීසිං වාරිකය පියවූ මූලාශ්‍ර පිළිබඳව නීත්‍යානුකූලව කරුණු තහවුරු කිරීමට ඇය අපොහොසත් වී ඇත.
මෙම සැකසහිත ගනුදෙනු හේතුවෙන්, ඉකුත් ඔක්තෝබර් 16 වැනිදා අදාළ මෝටර් රථය විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබීය.
එහෙත්, මෙය හුදකලා සිදුවීමක් නොවන බව විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී තිබේ. වාර්තා වන ආකාරයට, මාතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමය සහ මාතර විවිධ සේවා සමුපකාර සමිතිය ආශ්‍රිතව සිදුව ඇතැයි කියන දැවැන්ත මූල්‍ය වංචාවට සම්බන්ධ පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ කල්බදු වාරික ගෙවා ඇති බවට තොරතුරු හෙළි වී ඇත.
මෙම සමුපකාර ආයතනවල හිටපු සභාපති චමින්ද ගුණසේකර මහතාට එරෙහිව රුපියල් කෝටි 500 සිට 1000 කට අධික මුදලක් සම්බන්ධයෙන් දැවැන්ත මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2026 අප්‍රේල් 10 වැනිදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. එකී වංචාවන්ට අදාළ මුදල් යොදාගනිමින් මිලදී ගත් බව කියන මෙම පොලිස් පරීක්ෂකවරියගේ මෝටර් රථයට අමතරව, තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සතුව තිබූ ලොරි රථ ඇතුළු වාහන කිහිපයක්ද මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ.
අධිකරණයේදී සැකකාරිය වෙනුවෙන් නීතිඥ සාරංග වාදසිංහ, සමීර මීකඳවත්ත, කසුන් නානායක්කාර, උදිෂා වීරරත්න සහ දිනේෂ් ගමගේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නීතිඥ මඬුල්ලක් පෙනී සිටියහ.
ඉදිරිපත් වූ සියලු කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ මාතර මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය සහ වාර්තා ලබන 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේය.