නුවරඑළියට බලපා ඇති අධික ශීතලෙන් ආරක්ෂා වීම සඳහා කාමරය තුළ බාබක්‍යු උදුනක් දල්වාගෙන නින්දට ගිය අඹුසැමි යුවළකට විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගැනීමට සිදුවී තිබේ.
මෙම ඛේදනීය පුවත වාර්තා වන්නේ අද (03) අලුයම නුවරඑළිය, මීපිලිමාන ප්‍රදේශයෙනි.
මීට දින තුනකට පමණ පෙර නුවරඑළියට පැමිණ ඇති මෙම යුවළ මීපිලිමාන, මිහිඳුපුර ප්‍රදේශයේ නව සංචාරක හෝටලයක් හෙවත් නිකේතනයක් ඉදිකරමින් සිටි අය වෙති. එම ඉදිකිරීම් කටයුතු අවසන් වන තෙක් ඊට ආසන්නයේම පිහිටි නිවසක් කුලී පදනම මත ලබාගෙන ඔවුන් එහි තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති බව නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා පැවසීය.
නුවරඑළිය ප්‍රදේශයේ පවතින දැඩි සීතල හේතුවෙන් ඊට පිළියමක් ලෙස කාමරය තුළ බාබක්‍යු උදුනකට ගිනි මොළවා ගෙන ඔවුන් නින්දට ගොස් ඇති අතර, එහිදී පිටවූ විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් මෙම මරණ සිදුව ඇති බව සහකාර පොලිස් අධිකාරිවරයා තහවුරු කළේය.
අද අලුයම මෙම යුවළගේ දුරකථන වෙත ඥාතීන් විසින් අවස්ථා කිහිපයකදීම ඇමතුම් ලබාගෙන ඇති නමුත්, ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඔවුන් ඒ පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කර තිබේ. ඒ අනුව ග්‍රාම නිලධාරිවරයා අදාළ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී යුවළ මියගොස් ඇති බව නිරීක්ෂණය කර ඇති අතර, වහාම ඒ සම්බන්ධයෙන් නානුඔය පොලිසියට දැනුම් දී ඇත.
මියගිය සැමියා වෘත්තියෙන් නෞකා කපිතාන්වරයෙකු බව තහවුරු වී ඇති අතර මියගොස් ඇත්තේ කටුගස්තොට, මතුවල ප්‍රදේශයේ පදිංචි මංජුල රණතුංග දොඩම්තැන්න නැමැති 56 හැවිරිදි කපිතාන්වරයා සහ බැලුම්ගහතැන්න දොඩංඕවිට ප්‍රදේශයේ පදිංචි වනිගසිංහ මුදියන්සේලාගේ දිලූකා කුමාරි වනිගසිංහ නැමැති 49 හැවිරිදි ඔහුගේ බිරිඳයි. එහෙත් නානුඔය පොලිසියෙන් ලබාදුන් අනෙක් වාර්තාවලට අනුව මොවුන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සහ 46 හැවිරිදි යුවළක් ලෙසද විවාහවී සිටි බවට තොරතුරු නැතැයිද කියැවේ.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් විජය වික්‍රම මහතා මළසිරුරු සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදු කරනු ලැබීය. අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.