සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා සූදානම් වන සිසුන් පාසල් පැමිණීම අත්හැර දැමීම පිළිබඳව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය කනස්සල්ල පළ කර තිබේ. අක්කරෙයිපත්තුව මුස්ලිම් ජාතික පාසලේ 80 වැනි සංවත්සර උත්සවයට අද (15) එක්වෙමින් ඇය අවධාරණය කළේ, සෑම දරුවෙකුටම වසර 13ක අධ්‍යාපනයක් හිමිවිය යුතු බවත්, විභාග පන්තිවලට පැමිණි විට පාසල් ගමන නතර නොකර අඛණ්ඩව පාසල් පැමිණීම අත්‍යවශ්‍ය බවත්ය.
දරුවන් පාසල් වෙත යොමු කිරීමේ වගකීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද කළාය. "සෑම දරුවෙකුම පාසල් පැමිණිය යුතුයි. සෑම දරුවෙකුටම වසර 13ක අධ්‍යාපනයක් ලැබිය යුතුයි. තම දරුවන් පාසල් පැමිණෙන බවට වගබලා ගන්නා ලෙස මම විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් ඇය එහිදී ප්‍රකාශ කළාය.
මෙරට අධ්‍යාපන ක්ෂේත්රය වෙනුවෙන් රජය ගෙන ඇති මූල්‍යමය කැපවීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී කරුණු පැහැදිලි කළාය. 2027 අයවැය යටතේ අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 749ක් වෙන් කර ඇති බවත්, පාසල් අධ්‍යාපනය වෙනුවෙන් පමණක් ඉන් රුපියල් බිලියන 562.4ක් වෙන් කර ඇති බවත් ඇය සඳහන් කළාය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ ඉහළම මුදල බව ඇය පෙන්වා දුන්නාය.
හුදෙක් විභාග සමත් වීමට පමණක් අධ්‍යාපනය සීමා නොවිය යුතු බව ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ අදහසයි. වෙනස් වන ලෝකයට මුහුණ දීම සඳහා අවශ්‍ය වන නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ අනෙකුත් කුසලතා වර්ධනය කර ගැනීමට අධ්‍යාපනය තුළින් සිසුන්ට අවස්ථාව සැලසිය යුතු බව ඇය පැවසුවාය. ඒ අනුව, 2026 වසරේදී පළමු ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් නව විෂය මාලාව 2027 වසරේදී දෙවන සහ හයවන ශ්‍රේණි දක්වා ව්‍යාප්ත කරන බව ඇය සඳහන් කළාය. තාක්ෂණය, වෘත්තීය අධ්‍යාපනය සහ ප්‍රායෝගික ජීවන කුසලතා ඉගෙන ගැනීමට සිසුන්ට වැඩි අවස්ථාවක් ලබා දීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණයි.
පසුබිම කුමක් වුවත් ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීම සෑම දරුවෙකුගේම අයිතියක් බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, සැමට සමාන අධ්‍යාපන අවස්ථා තහවුරු කිරීමට රජය බැඳී සිටින බව ද වැඩිදුරටත් කියා සිටියාය.