
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයත්, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයත් අතර දුරස්ථව දිගහැරුණු සාක්ෂි විභාගය පුරා ම නැවත නැවතත් රැව් දුන් ප්‍රධාන පිළිතුර වූයේ කාලය විසින් මතකය යටපත් කර ඇති බව යි. යාපනයේදී අතුරුදන් වූ ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද (නොවැම්බර් 27) පැවැත්වුණු අතර, හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ සිට සාක්ෂි ලබා දෙද්දී යාපනයේ සිට ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු විය.
යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතාගේ නියෝගය මත සිදු වූ මෙම විභාගය අවසානයේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි මස 12 වැනිදා තෙක් කල් තැබීමට නියම කෙරිණි. ඉදිරි නඩු දිනයේදී ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට නියෝග ලැබිණි. මීට පෙර යාපනය මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුව ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට සාක්ෂි ලබා දීමෙන් පසු, වැඩිදුර විභාගය සඳහා අද දිනය නියම කර තිබුණි.
පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි මෙහෙයවූයේ නීතිඥ නුවන් බෝපගේ මහතා ය. මෙම සිදුවීම 2009 වර්ෂයේ සිදු වූ දීර්ඝ කාලීන සිද්ධියක් බැවින් ඒ පිළිබඳ මතකයක් නොමැති බව සාක්ෂි දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
එහෙත් නීතිඥ නුවන් බෝපගේ මහතාගේ ප්‍රශ්න කිරීම් යොමු වූයේ 2009 වසර ආසන්නයේ සිදු වූ මාධ්‍යවේදීන් පැහැර ගැනීම්, පහර දීම් සහ ඊට අදාළ විමර්ශන වාර්තා දෙසට ය. මාධ්‍යවේදීන් වන කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් පහර දීමේ සිදුවීම් ගැන දැනුවත්ව සිටියා දැයි නීතිඥවරයා විමසූ විට, ඒවා බොහෝ කලකට පෙර සිදු වූ සිදුවීම් බැවින් මේ අවස්ථාවේ පැහැදිලි කිරීමේ හැකියාවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.
"පැහැර ගැනීම් හා පහර දීම් වුණා නම් ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ පොලිස් ස්ථානවලින් පියවර ගන්න ඇති. හැම සිද්ධියක් ම මට වාර්තා වෙන්නේ නැහැ. ආරක්ෂක ලේකම් හැටියට මම කරන්නේ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම යි. ආරක්ෂක කටයුතු ගැන ජනාධිපතිවරයාට උපදෙස් දීම, පිරිස් බලය වැඩි කිරීම වැනි කටයුතු සඳහන් කරන්න පුළුවන්. ඒ හැරුණුකොට විමර්ශන කිරීම මගේ වගකීම නෙවෙයි," යනුවෙන් ඔහු අධිකරණය හමුවේ තම භූමිකාව පැහැදිලි කළේය.
පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදියා තමා නොදන්නා බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා, මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර හඳුනන බව පිළිගත්තේය. එහෙත් 2009 වසරේදී බන්දුල පද්මකුමාර සහ පෝද්දල ජයන්ත ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ තමා හමු වූවා දැයි විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ එය මතක නැති බව යි.
පසුව කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ බෝපගේ මහතා, එම පැහැර ගැනීමෙන් පසු හිටපු ආරක්ෂක ලේකම්වරයා එවක පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට සහ එවක බුද්ධි අංශ ප්‍රධානී හෙන්දාවිතාරණට දුරකතනයෙන් කතා කළ බව එහි සඳහන් වන බව පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දැක්වූ රාජපක්ෂ මහතා, පැහැරගෙන යාමක් හෝ අතුරුදන් කිරීමක් වූ විට ඒ පිළිබඳ විමර්ශන කරන ආයතන පවතින බවත්, තමාට ඍජුව ම යමක් දැනුම් දුනහොත් පොලිසියට සහ බුද්ධි අංශවලට කතා කර ඒ බව පවසන බවත් සඳහන් කළේය. දොම්පේ ප්‍රදේශයේ රහසිගත නිවසක රඳවාගෙන සිටි කීත් නොයාර් පසුව නිදහස් කෙරුණේ තමා කළ නියෝගයක් නිසා නොවේ දැයි නැඟූ ප්රශ්නය හමුවේ ඔහු එය "සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා, ස්වාමීනි" යනුවෙන් බැහැර කළේය.
අධිකරණයේ අවධානය තවත් තියුණු වූයේ 2015 නොවැම්බර් 8 වැනිදා 'සක්හඬ' පුවත්පතට ලබා දුන් බව කියන සම්මුඛ සාකච්ඡාවක් සහ එහි හඬ පටයක් කරළියට පැමිණීමත් සමඟ ය. එවැනි සම්මුඛ සාකච්ඡාවක් හෝ හඬ පටයක් ගැන මතකයක් නොමැති බව රාජපක්ෂ මහතා පැවසුව ද, පැමිණිල්ලේ ඉල්ලීම මත එම හඬ පටය විවෘත අධිකරණයේ දෙවරක් වාදනය කෙරිණි. පළමු වර වාදනයෙන් පසු එහි අන්තර්ගතය ගැන විමසූ විට, හඬ පටය පැහැදිලි නැති බවත් එය තමාගේ ම ප්‍රකාශයක් දැයි කීමට අපහසු බවත් ඔහු කියා සිටියේය.
දෙවන වරටත් හඬ පටය වාදනය කිරීමෙන් අනතුරුව එහි ලිඛිත පිටපතක් සාක්ෂිකරු වෙත ඉදිරිපත් කළ නීතිඥ නුවන් බෝපගේ මහතා, කුමාර් ගුණරත්නම් නමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඔහුට තොරතුරු ලබා දුන් බව එහි සඳහන් වන බව පැවසීය. "ජේවීපී එකට තදින් ම වුවමනාවක් තිබුණා එයාව අත්අඩංගුවට ගන්න. අනුර කුමාරත් කතා කරලා කියනවා එහේ ඉන්නවා මෙහෙ ඉන්නවා කියලා. පින්තූර එවනවා" යනාදී වශයෙන් එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණා නේදැයි නීතිඥවරයා විමසීය. එහෙත් සෑහෙන්න කලකට පෙර සිදු වූ දෙයක් ගැන විමසන බැවින් ඒ පිළිබඳ සවිස්තරව කීමට හැකියාවක් නොමැති බවත්, එය තමාගේ ම ප්‍රකාශයක් දැයි කීමට අපහසු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ප්‍රකාශ කළේය.
මෙම ප්‍රශ්න කිරීම් සිදු වන අතරතුර යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අවස්ථා කිහිපයකදී ම විරෝධතා මතු කළේය. පැමිණිලි පාර්ශ්වය විසින් මතු කරන ප්‍රශ්න බොහොමයක් මෙම නඩුකරයට සම්බන්ධ නොවන බවත්, අධිකරණය හමුවේ විමසන්නේ පිටස්තර කරුණු බවත් ඔහු පෙන්වා දුන්නේය.
දශකයකට වැඩි කාලයක් පැරණි සිදුවීම්, හඬ පට සහ ප්‍රතික්ෂේප කිරීම් මැද දිගහැරුණු අද දින සාක්ෂි විභාගය එලෙස නිමාවට පත් වූයේ ලබන පෙබරවාරි 12 වැනිදා නැවත අධිකරණය හමුවේ දිගහැරෙන මීළඟ පරිච්ඡේදයට ඉඩ තබමිනි.