husband-kills-pregnant-wife-and-flees

පවුල් ආරවුලක් දුරදිග යෑමේ අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස මාස හතරහමාරක ගැබිනි මවක තම ස්වාමිපුරුෂයාගේ පහරකෑමට ලක්ව ඝාතනය වීමේ ඛේදජනක පුවතක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.




මෙම අපරාධය සිදුව ඇත්තේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාලියවැව, කුඹුක්කල්ල (හෙවත් කුඹුක්වැව) ප්‍රදේශයේය. ඊයේ (03) සවස් කාලයේ නිවස තුළ ඇතිවූ අඹුසැමි ආරවුලක් උත්සන්න වීමෙන් පසු සැමියා විසින් සිය බිරිඳට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරු32 පසුවූ එම ප්‍රදේශයේම පදිංචිකාරියකි.




සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සාලියවැව පොලීසිය ඊයේ දිනයේම විමර්ශන කටයුතු ආරම්භ කළේය. ඊයේ රාත්‍රියේ පුත්තලම අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අපරාධය සිදුවූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරන ලද අතර, පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් වසීම් රාජා විසින් ද අදාළ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබීය.

ඝාතනයට ලක්වූ ගැබිනි මවගේ මෘත ශරීරය මේ වන විට පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේදී සිදුකිරීමට නියමිතව තිබේ.



සිය බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව සැකකාර ස්වාමිපුරුෂයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී මේ වන විට අනාවරණය වී ඇත. පලාගිය සැකකරු සොයා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සාලියවැව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සහ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.