a-complaint-has-been-filed-for-bribery-alleging-that-the-maharaja-was-given-government-money-for-propaganda-work---it-is-not-the-governments-business-the-minister-explains

සංචාරක ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව යැයි පවසමින් මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරකත්වය දැරූ ජාත්‍යන්තර සමුළුවක් සඳහා රුපියල් මිලියන 104ක මුදලක් ලබා දීම දේශපාලනික අල්ලසක් ද, නැතහොත් නීත්‍යානුකූල සංචාරක ප්‍රවර්ධන ආයෝජනයක් ද යන්න පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.




මේ සම්බන්ධයෙන් 'ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සංගමය' විසින් ඊයේ (03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ අධ්‍යක්ෂ හේමන්ත ශ්‍රී ලාල් චෝදනා කළේ, පාඩු ලබන රජයේ මාධ්‍ය ආයතන දෙකක් පවතිද්දී අදාළ මුදල් එම ආයතනවලට ලබා නොදී පෞද්ගලික ආයතනයකට පිරිනැමීම ගැටලු සහගත බවත්, මෙය පැහැදිලි දේශපාලනික අල්ලසක් බවත්ය.

අදාළ රුපියල් මිලියන 104ක මුදල ගෙවා ඇත්තේ මහාරාජා සමූහයට අයත් සිරස මාධ්‍ය ජාලය නියෝජනය කරන MTV ආයතනය වෙතය. ඒ, ශ්‍රී ලංකාවේ පැවති ආසියානු විකාශන සංගමයේ (ABU) සමුළුව වෙනුවෙනි.




මෙම චෝදනා සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ, මෙම මුදල මහා භාණ්ඩාගාරයෙන් මුදල් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් යෙදවූවක් නොවන බවයි. එය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් මගින් සිදු කළ ගෙවීමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට මුදල් ලැබෙන්නේ මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් අය කරන ඩොලර් 05ක මුදලින් සහ සංචාරක හෝටල්වල ආදායමෙන් සියයට එකක ප්‍රතිශතයකිනි. අමාත්‍යවරයා පැහැදිලි කළ පරිදි ඉන් සියයට 70ක්ම වෙන් කෙරෙන්නේ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන අතර, රග්බි තරගාවලි, කොළඹ මැරතන් තරගය සහ ගුවන් හමුදා පාපැදි සවාරිය වැනි අවස්ථාවන් සඳහා ද මීට පෙර මෙම අරමුදලින් මුදල් යොදවා තිබේ.



මෙම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට හෝටල් සංගමයේ නියෝජිතයින් තුන් දෙනෙක් ඇතුළුව රටේ ප්‍රමුඛ පෙළේ හෝටල්වල හිමිකරුවන් සහ විධායක නිලධාරීන් ඇතුළත් වන බැවින්, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වන කවර ස්ථානයකට මුදල් වියදම් කළ යුතු ද යන්න තීන්දු කිරීමේ හැකියාව එම කණ්ඩායම සතු බව රජයේ ස්ථාවරය වී ඇත. රජයේ බදු මුදල් යොදවන්නේ නැති බැවින් මීට සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අදාළ නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වසර 62ක ඉතිහාසයක් ඇති ආසියානු විකාශන සංගමයට (ABU) රටවල් 66ක රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන 225ක් අයත් වේ. මෙවර ශ්‍රී ලංකාවේ පැවති සමුළුවට 350ක පමණ පිරිසක් සහභාගී වී තිබේ. අමාත්‍යවරයා පවසන පරිදි, මෙහි සත්කාරකත්වය සඳහා MTV ආයතනය තෝරා ගනු ලැබුවේ ශ්‍රී ලංකා රජයෙන් නොව, ABU විධායක මණ්ඩලයේ නිර්දේශ මතය. ලංකාවේ ද රාජ්‍ය නාලිකා දෙකක් ඇතුළුව නාලිකා 06ක් පමණ මෙම සංගමයේ සාමාජිකත්වය දරයි. ලොව පිළිගත් මාධ්‍ය ආයතන රැසක් මෙරටට පැමිණීම හරහා ශ්‍රී ලංකාව පිළිබඳ කතාබහක් නිර්මාණය වීම සංචාරක කර්මාන්තයට ඍජු ප්‍රවර්ධනයක් ගෙන දෙන්නක් බව අදාළ මුදල් ගෙවීම සම්බන්ධයෙන් වූ තක්සේරුවයි.

එමෙන්ම, මෙම යෝජනාව සංචාරක මණ්ඩලය විසින් මුලින් ප්‍රතික්ෂේප කළ බවටත්, පසුව යම් 'අදෘශ්‍යමාන බලවේගයක්' හරහා එය කැබිනට් මණ්ඩලයට ගෙන ආ බවටත් එල්ල වන චෝදනා නලින්ද ජයතිස්ස මහතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය. අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව මුදල් වියදම් කිරීමේ බලය කාර්යාංශයට පැවතිය ද, මෙම මුදලේ ප්‍රමාණය අනුව එය කැබිනට් මණ්ඩලයට දැනුම් දීමේ අවශ්‍යතාවයක් තිබූ බව ඔහු ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර නියෝජිතයින් සහභාගී වන සමුළුවකට අරමුදල් සැපයීම සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ උපායමාර්ගයක් බව රජය පෙන්වා දෙද්දී, එය රජයේ මාධ්‍ය නොසලකා හරිමින් පෞද්ගලික අංශයට ලබා දුන් දේශපාලනික අල්ලසක් බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නඟන චෝදනාව මේ වන විට අල්ලස් කොමිසම හමුවට ගොස් ඇත.