how-cricket-was-widespread-in-america-during-the-british-colonial-era-and-then-became-extinct

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු තරගය කුමක්දැයි ඇසුවහොත් බොහෝ දෙනාගේ මතකයට එන්නේ ලෝඩ්ස් පිටියේදී පැවති එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයකි. එහෙත් සැබෑ ඉතිහාසය ඊට හාත්පසින්ම වෙනස්ය.

ලොව ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පැවැත්වුණේ 1844 වසරේ සැප්තැම්බර් මාසයේදී නිව්යෝර්ක් නුවර මැන්හැටන්හි සෙන්ට් ජෝර්ජ් ක්‍රීඩාංගණයේදීය. එහිදී තරග වැදුණේ ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාවයි. සංචාරක කැනඩා කණ්ඩායම ලකුණු 23කින් ජයගත් එම තරගය නැරඹීමට දසදහසත් විසිදහසත් අතර ප්‍රේක්ෂක පිරිසක් රැස්ව සිටියහ.




එම ඓතිහාසික තරගයට පදනම වැටුණේද අපූරු අහඹු සිදුවීමකිනි. 1840 වසර වන විට බ්‍රිතාන්‍යයන් විසින් ඇමරිකාවට ක්‍රිකට් හඳුන්වා දී සියවසකටත් වඩා ගතවී තිබූ අතර, විශේෂයෙන් නිව්යෝර්ක් සහ ෆිලඩෙල්ෆියා අතර නැගෙනහිර වෙරළ තීරයේ ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ජනප්‍රිය වෙමින් පැවතුණි. එම නගර දෙකේ පමණක් සක්‍රීය ක්‍රීඩකයන් 5,000කට අධික පිරිසක් සහ ක්‍රිකට් සමාජ සියයකට වැඩි සංඛ්‍යාවක් තිබුණි. එවන් පසුබිමක නිව්යෝර්ක්හි සෙන්ට් ජෝර්ජ් ක්‍රීඩා සමාජයට ෆිල්පොට්ස් නමැති අයෙකුගෙන් ආරාධනාවක් ලැබුණේ කැනඩාවේ ටොරොන්ටෝ ක්‍රිකට් සමාජය සමඟ තරගයකට එක්වන ලෙසයි. එම ආරාධනාව පිළිගත් ක්‍රීඩකයෝ නිව්යෝර්ක් ප්‍රාන්තය හරහා අශ්ව කරත්තයකින් සහ ඔන්ටාරියෝ විල හරහා වාෂ්ප නැවකින් දුෂ්කර ගමනක් ගෙවා ටොරොන්ටෝ වෙත ළඟා වූහ. එහෙත් එහි ගිය විට ඔවුන්ට දැනගන්නට ලැබුණේ කැනේඩියානු ක්‍රීඩා සමාජය එවැනි ආරාධනාවක් ගැන කිසිවක් නොදන්නා බවත්, අභිරහස් ෆිල්පොට්ස් නමැත්තා කොහේවත් සොයාගැනීමට නොමැති බවත්ය. කෙසේ වෙතත් ආගන්තුක සත්කාරයට ගරු කළ කැනේඩියානු ක්‍රීඩකයෝ කඩිනමින් තරගයක් සංවිධානය කළහ. හදිසියේ සූදානම් කළද විශාල සහ උද්යෝගිමත් ප්‍රේක්ෂක පිරිසක් එම තරගයට එක්වූ අතර, තරගය ජයගත් නිව්යෝර්ක් ක්‍රීඩකයෝ ඇමරිකාව සහ කැනඩාව නියෝජනය කරන කණ්ඩායම් අතර තරගයක් පැවැත්වීමේ අදහස ඉදිරිපත් කළහ. සිව් වසරකට පසු ලොව පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය බිහිවූයේ එලෙසිනි.

එතැන් සිට ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයක් ආරම්භ විය. 1857 වසරේදී ජාතික ක්‍රිකට් සංගමයක් පිහිටුවනු ලැබූ අතර, 1861 ඇමරිකානු සිවිල් යුද්ධය ආරම්භ වීමට පෙර අවම වශයෙන් ප්‍රාන්ත 22ක නගර 125කට අධික සංඛ්‍යාවක ක්‍රිකට් ක්‍රීඩා කෙරුණි. රට පුරා ක්‍රිකට් සමාජ දහසක් පමණ ක්‍රියාත්මක වූ අතර එංගලන්තය, ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් වැනි දුරබැහැර රටවලින් පවා කණ්ඩායම් ඇමරිකාවේ සංචාරය කළහ. එහෙත් සිවිල් යුද්ධය ආරම්භ වී සිව් වසරකට පසු එය අවසන් වන විට ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාහේ බිඳවැටී තිබුණි. ක්‍රීඩකයන්ගේ උනන්දුව හීන වී ක්‍රීඩා සමාජ වැසී යන්නට වූ අතර, කලක් අපහසුවෙන් ඇදී ගියද ක්‍රිකට් ක්‍රීඩාවට යළි කිසිදා හිස එසවීමට නොහැකි විය. මෙතරම් ජනප්‍රියව තිබූ ක්‍රීඩාවකට හදිසියේම අත්වූ මෙම ඉරණම පිටුපස ප්‍රධාන සාධක තුනක් බලපෑවේය.




පළමු පහර එල්ල වූයේ බේස්බෝල් ක්‍රීඩාවේ නැගී සිටීමත් සමඟිනි. දහනව වැනි සියවසේ මුල් භාගයේදී ක්‍රිකට් සහ රවුන්ඩර්ස් ක්‍රීඩාවල සම්මිශ්‍රණයක් බඳු නව ක්‍රීඩාවක් නිව්යෝර්ක්, ෆිලඩෙල්ෆියා සහ බොස්ටන් වැනි ක්‍රිකට් ජනප්‍රියව තිබූ නගරවලම ව්‍යාප්ත වන්නට විය. ටවුන් බෝල්, ගෝල් බෝල්, රවුන්ඩ් බෝල් සහ බේස් බෝල් යන විවිධ නම්වලින් හැඳින්වුණු මෙම ක්‍රීඩාවේ නීතිරීති ක්‍රීඩා කරන පිරිස අනුව වෙනස් වුවද එහි ආකර්ෂණය පැහැදිලි විය. දිනක් හෝ තුනක් පුරා ඇදී යමින් ඇතැම් විට ජය පරාජයකින් තොරව අවසන් වන ක්‍රිකට් තරග මෙන් නොව, බේස්බෝල් තරගයක් පැය දෙක තුනකින් අවසන් කළ හැකි විය. විවේකී ධනවතුන්ට මෙන් නොව රාජකාරි වේලාවෙන් පසුව පමණක් තරග නැරඹීමට හැකියාව තිබූ ඇමරිකානු වැඩකරන ජනතාව අතර මෙය ශීඝ්‍රයෙන් ජනප්‍රිය විය. 1850 දශකයේ මැද භාගය වන විට ක්‍රීඩකයන් ක්‍රිකට් සහ බේස්බෝල් යන දෙකම මාරුවෙන් මාරුවට ක්‍රීඩා කිරීමට පටන් ගත් අතර ක්‍රිකට් සමාජ පවා ඊට අනුබල දුන්නේය. සිවිල් යුද්ධයට සිව් වසරකට පෙර නිව්යෝර්ක්හි ක්‍රීඩා සමාජ 16ක් එක්ව ජාතික සංගමයක් පිහිටුවා ශූරතාවලියක් සහ සම්මත නීතිරීති හඳුන්වා දීමත් සමඟ බේස්බෝල් ක්‍රීඩාවේ ආකර්ෂණය තවත් පුළුල් විය. එමෙන්ම කාන්තාවන් තරග නැරඹීමට ආකර්ෂණය කර ගැනීම සඳහා ගත් උපායමාර්ගික උත්සාහයද දෙයාකාරයකින් සාර්ථක විය. ඉන් ක්‍රීඩාංගණවල කලහකාරී හැසිරීම් අඩුවූ අතර, එවකට ක්‍රීඩා උළෙලවලට සහභාගී වන කාන්තා සංඛ්‍යාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ මාධ්‍යවල ප්‍රශංසාත්මක ආවරණයද බේස්බෝල් වෙත හිමිවිය.

දෙවැනි සහ තීරණාත්මක පහර එල්ල වූයේ ඇමරිකානු සිවිල් යුද්ධයෙනි. නිරන්තරයෙන් ගමන් කරන සොල්දාදුවන්ට විවේක කාලය ගත කිරීම සඳහා ක්‍රිකට්වලට වඩා බේස්බෝල් ක්‍රීඩාව බෙහෙවින් පහසු විය. ක්‍රිකට් සඳහා මෙන් විශේෂයෙන් සකස් කළ තණතීරුවක් ඊට අවශ්‍ය නොවූ අතර ඕනෑම හිස් බිම් කඩක් ඒ සඳහා ප්‍රමාණවත් විය. පිත්තක් සහ පන්දුවක් හැර වෙනත් උපකරණ අවශ්‍ය නොවීම, ආධුනිකයන්ට නීතිරීති පැහැදිලි කිරීමේ පහසුව සහ පැය කිහිපයකින් තරගය අවසන් කළ හැකි වීම ඊට හේතු විය. යුද්ධය හරහා ඊසානදිග ප්‍රදේශයේ සිට රට පුරාම බේස්බෝල් ව්‍යාප්ත විය. දකුණු ප්‍රදේශයේ සිරකඳවුරුවල රඳවා සිටි උතුරේ සොල්දාදුවෝ දිනපතා බේස්බෝල් ක්‍රීඩා කළහ. ඔවුන් ඉන් ලැබූ විනෝදය කොතරම් බෝවන සුළු වීද යත් සිරකඳවුරු මුරකරුවෝ පවා සිය ගණනින් එය නැරඹීමට පැමිණියහ. යුද්ධය අවසන් වන විට දෙපාර්ශ්වයේම සිරකඳවුරුවල බේස්බෝල් තරග පැවැත්වෙන බවට වාර්තා වූ අතර, ඔහියෝ ප්‍රාන්තයේ සැන්ඩස්කිහිදී සදර්න් නයින් සහ කොන්ෆෙඩරේට් නයින් කණ්ඩායම් අතර පැවති තරගයක් මුරකරුවන් සහ සිරකරුවන් ඇතුළු 3,000ක පිරිසක් නැරඹූ බව වාර්තා වේ. නිව්යෝර්ක් නුවරින් ඇවිළුණු ගිනි පුපුර ඇමරිකාවේ ජාතික ක්‍රීඩාව බවට පත් කළ උදුන වූයේ සිවිල් යුද්ධයයි.



තුන්වැනි සහ අවසන් පහර එල්ල වූයේ ඇමරිකානු දේශප්‍රේමී හැඟීම්වලිනි. යුද්ධයට පෙර ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබූ ජනප්‍රියත්වය පිටුපස එතරම් ප්‍රකට නොවූ සත්‍යයක් සැඟව තිබුණි. එනම් එරට සිටි දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනාම පාහේ විදේශයන්හි උපන්, විශේෂයෙන්ම එංගලන්තයෙන් පැමිණි අය වීමයි. ඇමරිකාවේ කාර්මික විප්ලවයත් සමඟ බ්‍රිතාන්‍ය සංක්‍රමණිකයන් විශාල වශයෙන් ෆිලඩෙල්ෆියා, නිව්යෝර්ක්, බොස්ටන් සහ වොෂින්ටන් වැනි ක්‍රිකට් මුල් බැසගත් නගරවලට පැමිණ සිටීම ඊට හේතු විය. ඇමරිකාවේ උපන් ස්වදේශිකයන් ක්‍රිකට් වෙත යොමුවුවද, මන්දගාමී ස්වභාවයකින් යුත් බොහෝ විට ව්‍යාකූල නීතිරීති සහිත එම ක්‍රීඩාව කෙරෙහි ඔවුන් තුළ තිබූ උද්යෝගය තරමක් ඇල්මැරුණු ස්වභාවයක් ගත්තේය. ඊට අමතරව ඇමරිකාවේ සංචාරය කළ එංගලන්ත කණ්ඩායම් විසින් ඇමරිකානු කණ්ඩායම්වලට දරුණු පරාජයන් අත්කර දීමද ඊට බලපෑවේය.

සිවිල් යුද්ධය අවසන් වන විට මුළු රටම දැඩි දේශප්‍රේමී උන්මාදයකින් වෙළී තිබුණි. එවන් පසුබිමක ඇමරිකාවේම උපත ලබා වේගයෙන් ව්‍යාප්ත වන බේස්බෝල් ක්‍රීඩාව හමුවේ එංගලන්තයෙන් ආනයනය කළ ක්‍රීඩාවක් වූ ක්‍රිකට්වලට කිසිදු අවස්ථාවක් ඉතිරි නොවීය. යුද්ධයෙන් පසු රට පුරා ක්‍රීඩා සමාජ 400කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වෙමින් බේස්බෝල් සංගමයේ සාමාජිකත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. ඊට හාත්පසින්ම වෙනස්ව, සිවිල් යුද්ධයෙන් පසු ඇමරිකානු ක්‍රිකට් සංගමය එකදු වරක් හෝ රැස්වූයේ නැත. ක්‍රිකට් ක්‍රීඩාව තවත් කලක් අපහසුවෙන් ඇදී ගියද යුද්ධයෙන් එයට සිදුවූ තුවාල මාරාන්තික විය. අවසානයේදී බේස්බෝල් ඇමරිකානු ක්‍රීඩා පිටියේ අවිවාදිත රජු බවට පත්විය.

how-cricket-was-widespread-in-america-during-the-british-colonial-era-and-then-became-extinct

how-cricket-was-widespread-in-america-during-the-british-colonial-era-and-then-became-extinct



how-cricket-was-widespread-in-america-during-the-british-colonial-era-and-then-became-extinct