අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉන්දීය බුද්ධි අංශයේ සාමාජිකාවක් බවටත්, වත්මන් පාලනය ඉන්දියාවේ දේශපාලන න්යායපත්රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරමින් සිටින බවටත් බලංගොඩ කස්සප හිමියෝ දැඩි ආන්දෝලනාත්මක චෝදනාවක් එල්ල කරති. ඉන්දියානු ආක්‍රමණයකට එරෙහිව තමන්ගේ ජීවිතය පූජා කිරීමට හෝ සිරගත වීමට පවා සූදානම් බව උන්වහන්සේ අවධාරණය කර සිටිති.
අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණවලට එරෙහිව කස්සප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ දිනවල අනුරාධපුරයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වී සිටිති. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ එම අරගලය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ දේශපාලන අරමුණු ඉටු කිරීම වෙනුවෙන් පෙනී සිටින බවට චෝදනා කළ කස්සප හිමියෝ, ඇයගේ පෞද්ගලික ජීවිතය ද දැඩි විවේචනයට ලක් කළහ. පවුලක් හෝ දරුවන් නොමැති කාන්තාවක් රටේ අනාගතය ගැන කෙසේ සිතන්නේදැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.
එසේම, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවට හිතවත් රූකඩ පාලකයෙකු ලෙස හැඳින්වූ උන්වහන්සේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අවශ්‍යතාව මත ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් කොල්ලකෑමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ද චෝදනා නැගූහ. අනුරාධපුර පූජා නගරය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිටුවෙන් පිටුව, වචනයෙන් වචනය ගෙන එහි ඇති සංස්කෘතික කොල්ලය ජනතාවට පැහැදිලි කර දිය හැකි බව කස්සප හිමියෝ පැවසූහ. උදෑසන ශ්‍රී ලංකාවෙන් ද, දහවල් දිල්ලියෙන් ද ආහාර ගන්නා මෙවැනි ද්‍රෝහී පාලකයන් යටතේ රටට යහපත් අනාගතයක් අපේක්ෂා කළ හැකිදැයි උන්වහන්සේ කියා සිටියහ.
අනුරාධපුරයට යම් හානියක් සිදුවන්නේ නම් ඊට එරෙහිව සියලුම භික්ෂු භික්ෂුණීන් පෙරමුණ ගත යුතු බව පවසමින් උන්වහන්සේ ප්‍රාදේශීය මට්ටමින් මහා සංඝරත්නයෙන් එක්රොක් වන ලෙස ඉල්ලා සිටියහ. තමන්ගේ මෙම අරගලයට විරුද්ධ වන භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද සිටින බව පැවසූ කස්සප හිමියෝ, උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ වන විට ඔවුන් ඒ වෙනුවෙන් හඬක් නැගුවේදැයි ප්‍රශ්න කළහ. එසේම, තමන්ගේ මෙම ක්‍රියාමාර්ගයට එරෙහි වන ඕනෑම භික්ෂුවකට හෝ භික්ෂුණියකට රුවන්වැලිසෑය සහ ශ්‍රී මහා බෝධිය ඉදිරිපිටට පැමිණ තමන් සමග විවාදයකට එක්වන ලෙස ද උන්වහන්සේ විවෘත අභියෝගයක් කළහ.
තමන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රජයේ ක්‍රියාමාර්ගවලට විරුද්ධ නොවන බවත්, එදා වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් බ්‍රිතාන්‍ය කොඩිය බිමට හෙළා සිංහල කොඩිය එසවූවාක් මෙන් අද ඉන්දීය කොඩිය බිමට හෙළා සිංහල කොඩිය එසවීමට තමන් සූදානම් බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
ඉන්දියාව මෙරට ආක්‍රමණය කිරීමට පැමිණියහොත් ඊට එරෙහිව පළමු ජීවිත පූජාව කිරීමට මෙන්ම, මෙම අරගලය වෙනුවෙන් සිරගත වීමට ද තමන් සූදානම් බව පැවසූ කස්සප හිමියෝ, ලෝකයේ කිසිවෙකුටත් තමන්ව නැවැත්විය නොහැකි බවත්, මෙම අරගලය පරාජයෙන් නොව ජයග්‍රහණයෙන්ම අවසන් කරන බවත් දැඩිව ප්‍රකාශ කළහ.