
පාකිස්ථානයේ ප්රමුඛ පෙළේ රූපවාහිනී නාලිකා ඔස්සේ රටේ දේශපාලන සහ සමාජීය ගැටලු නිර්භීතව විග්රහ කළ රේබියා අහ්සන් නමැති ඇය, සමාජ මාධ්‍ය හරහාද කාන්තාවන් වෙනුවෙන් හඬ නැගුවාය. එහෙත් පසුගිය නොවැම්බර් 08 වැනි ඉරිදා පස්වරුවේ, රාවල්පිණ්ඩි නුවර පිහිටි ඇගේම නිවසේ නිදන කාමරය තුළින් ඇසුණු එක් වෙඩි හඬකින් ඒ සියල්ල නිහඬ වී ගියේය.
සිදුවීම වන විට වේලාව පස්වරු 2:30 ත් 3:00 ත් අතර විය. අඩියාලා පාරේ, සෙක්ටර් 2 හි, ගුල්ෂානාබාද් (Gulshanabad) හි පිහිටි නිවසේ උද්‍යානයේ ඇගේ මව, අල්විනා නමැති සොහොයුරිය සහ දියණියන් දෙදෙනා රැඳී සිටියහ. නිදන කාමරය දෙසින් වෙඩි හඬක් ඇසුණු වහාම එදෙසට දිවගිය සොහොයුරියට දක්නට ලැබුණේ, ලේ විලක් මැද බිම වැටී සිටි 41 හැවිරිදි රේබියා අහ්සන් (Rabia Ahsan) ය. ඒ අසලම පිස්තෝලයක් අතැතිව ඇගේ සැමියා වන අහ්සන් තාහීර් සිටගෙන සිටියේය.
රේබියා අහ්සන් යනු පාකිස්ථාන ජනමාධ්‍ය ක්ෂේත්රයේ කැපී පෙනෙන චරිතයකි. 92 News HD නාලිකාවේ 'මුකාබිල්' (Muqabil) කාලීන වැඩසටහනේ නිවේදිකාව ලෙස වසර පහකට වැඩි කාලයක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන අමීර් මතීන් සහ රවුෆ් ක්ලස්රා සමඟ ඇය කටයුතු කළාය. මීට අමතරව ඇය GTV, HUM News, Aaj Urdu ඇතුළු නාලිකා කිහිපයකම සේවය කර තිබුණි. ජනමාධ්‍යවේදිනියකට අමතරව, ඉස්ලාමාබාද්හි රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගිය ව්‍යවසායිකාවක වූ ඇය මියයන්නට පැය කිහිපයකට පෙරත් දේශපාලනික කරුණු සම්බන්ධයෙන් තම සමාජ මාධ්‍ය ගිණුම් වෙත වීඩියෝ මුදාහැර තිබුණි.
පොලිසිය සහ පන්ජාබ් අධිකරණ වෛද්‍ය විද්‍යා ඒකකය (PFSA) විසින් අපරාධ ස්ථානයෙන් බලපත්‍ර රහිත මිලිමීටර් .30 වර්ගයේ පිස්තෝලයක් සහ හිස් පතරොම් කොපුවක් සොයාගනු ලැබීය. පොලිස් වාර්තාවලට අනුව, මෙම ගිනි අවිය හයාතාබාද් (Hayatabad) ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා කිසිදු බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට සැමියාට හැකි වී නැත. මූලික පරීක්ෂණවලට අනුව රේබියාගේ ගෙලට පහළින් ඉදිරිපසින් මෙම මාරාන්තික වෙඩි වැදීම සිදුව ඇති අතර, වෙඩි වැදුණු ස්ථානයේ කළු පැහැති පිළිස්සුම් සලකුණු (blackening marks) නොතිබීමෙන් පැහැදිලි වී ඇත්තේ මෙය ඉතා ආසන්නයේ සිට තැබූ වෙඩිල්ලක් නොවන බවයි.
විදේශගත පාකිස්ථානුවන් සඳහා වන පදනමේ (OPF) නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම 18 වැනි ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඇගේ සැමියා මේ වන විට පසුවන්නේ පොලිස් අත්අඩංගුවේය. වසර 16ක විවාහ ජීවිතයක් ගත කළ ඔවුන්ට වයස අවුරුදු 13ක සහ 11ක දියණියන් දෙදෙනෙකු සිටී. සැමියා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, ආයුධය පරීක්ෂා කිරීමේදී හෝ විහිළුවට එය එල්ල කිරීමේදී අත්වැරදීමකින් එය පත්තු වූ බවයි.
රේබියාගේ සහෝදරයා වන කුරාම් අහමඩ්ගේ පැමිණිල්ලකට අනුව, සද්දර් බෙරුනි (Saddar Beruni) පොලිසිය විසින් සිතාමතා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම (Section 302) සහ නීතිවිරෝධී ලෙස ගිනි අවි ළඟ තබා ගැනීම (Punjab Arms Amendment Ordinance 2015) යන චෝදනා යටතේ නඩු පවරා ඇත. මහේස්ත්‍රාත් තලත් වහීඩ් විසින් සැකකරු එක් දිනකට රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, පසුව ජ්‍යෙෂ්ඨ සිවිල් විනිසුරු මුහම්මද් නස්රුල්ලා වට්ටූ විසින් එය තවත් දින හතරකින් දීර්ඝ කරන ලදී. ඒ අනුව නොවැම්බර් 13 වැනිදා දක්වා ඔහු රිමාන්ඩ් භාරයේ පසුවනු ඇත.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් පවුලේ පාර්ශ්වයෙන් පරස්පර මාධ්‍ය වාර්තා පළ වී තිබේ. ඇතැම් මාධ්‍ය (ARY) වාර්තා කළේ ඔවුන්ගේ පවුල් ජීවිතයේ ගැටලු නොතිබූ බැවින් මෙය හදිසි අනතුරක් ලෙස සලකා සහෝදරයා පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවයි. එහෙත් Tribune පුවත්පතට අදහස් දක්වමින් සහෝදරයා එම අදහස තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි. "මගේ සහෝදරියගේ අසාධාරණ ඝාතනයට මම සමාව දෙන්නේ කෙසේද?" යැයි ප්‍රශ්න කළ ඔහු, නිදන කාමරය තුළ හරියටම සිදුවූයේ කුමක්දැයි පවුලේ අය තවමත් නොදන්නා බැවින් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව අවධාරණය කළේය.
මෙම ඛේදවාචකය පාකිස්ථාන සමාජය තුළ දැඩි කම්පනයක් ඇති කර තිබේ. පාකිස්ථාන ජනාධිපති ආර්යාව වන අසීෆා භූතෝ-සර්දාරි මෙම ඝාතනය දැඩි ලෙස හෙළා දකිමින්, වගකිවයුත්තන්ට දඬුවම් දීම සඳහා විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් ඉල්ලා සිටියාය. වෘත්තීය කාන්තාවන් ඉලක්ක කරගනිමින් සිදුවන ඝාතන රැල්ලක ස්වභාවයක් මින් නිරූපණය වන බව පෙන්වා දුන් ඇය, පසුගිය අගෝස්තු මාසයේදී රාවල්පිණ්ඩිහිදීම මරා දැමුණු හීනා ජාවෙඩ් නමැති මාධ්‍ය විධායකවරියගේ සිදුවීම ද සිහිපත් කළාය.
තම වෘත්තීය ජීවිතයත්, පවුල් ජීවිතයත් සමබරව ගෙනගිය රේබියා අහ්සන්ගේ හදිසි නික්මයාම ඇගේ සගයන්ට මෙන්ම සමස්ත මාධ්‍ය ක්ෂේත්රයටම විශාල පාඩුවකි. අත්වැරදීමක් යැයි සැමියා පවසන ඒ එක් වෙඩි හඬක්, කුඩා දැරියන් දෙදෙනෙකුට සිය ආදරණීය මව සදහටම අහිමි කර ඇත. ඇගේ මරණයට හේතුවූ නිදන කාමරයේ සැබෑ රහස, දුරකථන සහ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තා හරහා හෙළිවන තුරු පාකිස්ථාන නීතිය අවදියෙන් සිටී.