government-agrees-to-amend-the-organized-crime-prevention-bill

යෝජිත ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ හරහා මෙරට අධිකරණ පද්ධතියේ බලතල විධායකයට සහ පොලීසියට පවරා ගනිමින් මහේස්ත්‍රාත්වරයා හුදෙක් ‘රබර් මුද්‍රාවක්’ බවට පත්කිරීමේ බරපතළ අවදානමක් නිර්මාණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැඩි අනතුරු ඇඟවීම් මතු වෙමින් තිබේ. බුද්ධිමය දේපළ උල්ලංඝනය කිරීම් වැනි සාමාන්‍ය වැරදි පවා බරපතළ අපරාධ ලෙස අර්ථකථනය කර ඇති මෙම පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් 26ක විභාගය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්වෙයි.




අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නොවැම්බර් 09 වැනිදා මෙම පෙත්සම් විභාගය දෙවන දිනටත් ක්‍රියාත්මක විය. එහිදී රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට රජය සූදානම් බවයි. ඊට අදාළ සංශෝධන ඇතුළත් ලේඛනයක් ද මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහෙත්, පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ මෙම කෙටුම්පත එක්සත් ජාතීන්ගේ සම්මුතීන්ගේ මූලික පදනම පවා උල්ලංඝනය කරන බවයි. පූර්ව අවසරයකින් තොරව අධිකරණ වාර්තාකරණය අපරාධයක් බවට පත්කිරීම සහ පුද්ගලයන්ගේ පෙනුම, භාවිත කරන භාෂාව හෝ ඇසුර මත පදනම්ව ඔවුන් අපරාධ කල්ලි සාමාජිකයන් ලෙස නම් කිරීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන ද දැනටමත් අනතුරු අඟවා ඇත.




පෙත්සම්කරුවෙකු වන මාලින්ද සෙනවිරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ අවධාරණය කළේ, පනත තුළ "බරපතළ අපරාධ" නිර්වචනය කර ඇති ආකාරය අතිශය භයානක බවයි.

"දණ්ඩ නීති සංග්‍රහය යටතේ වසර හතරකට වැඩි සිරදඬුවම් නියම කළ හැකි සියලු වැරදි මීට ඇතුළත්. බුද්ධිමය දේපළ පනත, වෙළෙඳ ලකුණු, සුරාබදු, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ එන වැරදි පවා මෙහි බරපතළ අපරාධ ලෙස අර්ථකථනය කර තිබෙනවා," ඔහු පෙන්වා දුන්නේය. සාමාන්‍යයෙන් මාස හයක සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක දඩයක් නියම වන බුද්ධිමය දේපළ වරදක් මෙන්ම, බලපත්‍ර රහිතව සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම පවා සංවිධානාත්මක අපරාධයක් ලෙස සැලකීම හරහා ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ විහිළුවක් බවට පත්වන බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. තවද, එවැනි වරදක් පිළිබඳව දැනුවත් වී එය පොලීසියට වාර්තා නොකිරීම ද සිරභාරයට පත්විය හැකි වරදක් බවට මෙයින් පත් කර ඇත.



කෙටුම්පතට එල්ල වන ප්‍රබලතම චෝදනාව වන්නේ අධිකරණ බලය කප්පාදු කර විධායකයට සහ පොලීසියට අසීමිත බලයක් ලබා දීමයි. යෝජිත පනත යටතේ සැකකරුවෙකු රඳවා තබා ගැනීම සඳහා පොලිස්පතිවරයාට හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ හැකිය. එවිට මාස දෙකේ සිට වසරක් දක්වා රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයාට හිමිවේ.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිඥ සුරේන් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ, එවැනි රැඳවුම් නියෝගයක් නොමැති අවස්ථාවකදී පවා අත්අඩංගුවට ගන්නා සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කළ විට, ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීම හැර වෙනත් විකල්පයක් මහේස්ත්‍රාත්වරයාට ඉතිරි කර නොමැති බවයි. "අධිකරණ මනස ක්‍රියාවේ යොදවා තීරණ ගැනීමට මහේස්ත්‍රාත්වරයාට අවකාශ සැලසෙන්නේ නෑ. මහේස්ත්‍රාත්වරයා හුදෙක් රබර් මුද්‍රාවක් බවට පත් කර තිබෙනවා," ඔහු කියා සිටියේය. එමෙන්ම, සැකකරුවෙකු පැය 72ක් අධිකරණ අධීක්ෂණයකින් තොරව පොලිස් භාරයේ රඳවා තබාගැනීමට අවසර දීමත්, ඇප ප්‍රදානය කිරීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත් කර මහාධිකරණයට පැවරීමත් බරපතළ ගැටලු සහගත තත්ත්වයක් බව ඔහු අවධාරණය කළේය.

මෙම පනතේ 10 වැනි වගන්තියේ දැක්වෙන 'සහභාගිත්වය' යන කාරණය ද දැඩි විවේචනයට ලක්විය. නීතිඥ සුරේන් ප්‍රනාන්දු ඊට අපූරු උදාහරණයක් ගෙනහැර දැක්වීය. "අපරාධ කණ්ඩායමක් ශ්‍රමදානයක් හෝ දන්සලක් පවත්වනවා යැයි සිතන්න. එහි කිසිදු අපරාධයක් සිදු වන්නේ නෑ. නමුත් මෙම පනත යටතේ එම ක්‍රියාවත් වරදක්. එවැනි දෙයකට නඩු පැවරුවහොත් අධිකරණයට ඔවුන් වරදකරුවන් කිරීමට සිදු වෙනවා."

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයේ අවධානය යොමු කළේ මෙමගින් මාධ්‍ය නිදහසට සහ අධිකරණ වාර්තාකරණයට එල්ල වන මරු පහර පිළිබඳවයි. පනතේ 14 වැනි සහ 14(3) වගන්තිවලට අනුව, බරපතළ අපරාධයක වින්දිතයෙකුගේ අනන්‍යතාව හෙළි කිරීම මෙන්ම, අධිකරණයේ අවසරයකින් තොරව නඩුවක යම් කරුණක් මුද්‍රණය කිරීම හෝ ප්‍රසිද්ධියට පත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. "මෙම ප්‍රතිපාදනය හේතුවෙන් අධිකරණ ප්‍රවෘත්ති වාර්තාකරණ කටයුතු පවා සිදු කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. විමර්ශන අධීක්ෂණය සඳහා කිසිදු ප්‍රතිපාදනයක් නෑ. අධිකරණ අධීක්ෂණය මුළුමනින්ම ඉවත් කර තිබෙනවා," ඔහු සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත "එහෙන් මෙහෙන් අහුලාගත් කොටස් එකතු කර" සකස් කළ එකක් බව ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වාගේ තර්කය විය.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක සිය පෙත්සම වෙනුවෙන් පෙනී සිටිමින් අතීත දේශපාලන ප්‍රකාශයක් සිහිපත් කළේය. 2022 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විවාදයට ගත් අවස්ථාවේදී, සම්පූර්ණ බලය අමාත්‍යවරයෙකුට පැවරීමේ ආදීනව පිළිබඳව වත්මන් විදේශ අමාත්‍ය විජිත හේරත් කළ ප්‍රකාශයක් ඔහු අධිකරණය හමුවේ උපුටා දැක්වීය. "මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන පුද්ගලයෙකු අතට එම බලය පත් වුවහොත් කුමක් සිදුවේදැයි එදා විජිත හේරත් මහතා ප්‍රශ්න කළා. අද මෙම පනත් කෙටුම්පත තුළත් දකින්නට ලැබෙන්නේ එවැනිම තත්ත්වයක්."

නීතිඥවරුන් පෙන්වා දෙන්නේ, ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ අධිකරණයේ ස්වාධීනත්වය බරපතළ ලෙස උල්ලංඝනය කරන මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය තහවුරු කිරීමට නම් එය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතු බවයි. දින දෙකක් පුරා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිගහැරුණු මෙම නීතිමය සංවාදය, පුරවැසි නිදහස සහ අධිකරණ බලය විධායකය විසින් අත්පත් කරගැනීමේ සීමාව පිළිබඳ තීරණාත්මක ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර ඇත.