a-prisoner-was-attacked-and-killed-by-a-deer-kept-at-the-weerawila-open-air-prison

විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම හේතුවෙන් අධිකරණ නියෝග මත පුනරුත්ථාපනය ලබමින් සිටි තරුණයෙකු, සිරකඳවුරු භූමියේ නිදැල්ලේ හැසිරුණු මුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වීරවිල එළිමහන් සිරකඳවුරෙන් වාර්තා වේ.




මෙලෙස මියගොස් ඇත්තේ වරපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි රැඳවියෙකි. පොලිස් තොරතුරුවලට අනුව මෙම අනපේක්ෂිත සිදුවීම ඊයේ (08) පස්වරු 3.55ට පමණ සිදුව තිබේ.

වාර්තා වන අන්දමට, අදාළ රැඳවියා අනතුරට මුහුණ දෙන අවස්ථාවේ කඳවුරු භූමියේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිට ඇත. වීරවිල එළිමහන් කඳවුරු පරිශ්‍රය තුළ මුවන් කිහිපදෙනෙකුම රඳවා සිටින බව පැවසෙන අතර, එලෙස භූමියේ නිදැල්ලේ සැරිසරමින් සිටි මුවෙකු විසින් මෙම තරුණයාට ඇන තිබේ.




මුවාගේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ රැඳවියා ප්‍රතිකාර සඳහා කඩිනමින් තිස්සමහාරාම දෙබරවැව රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත්, එහිදී ඔහු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට දෙබරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දින පැවැත්වීමට නියමිතව ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් වීරවිල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.