fitch-upgrades-ratings-of-six-sri-lankan-insurance-companies

රටේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ ඇති වූ සාධනීය වර්ධනය මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට ද සෘජු ශක්තියක් ගෙන දෙමින්, ශ්‍රී ලංකාවේ රක්ෂණ ආයතන හයක ජාතික මූල්‍ය ශක්තිය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් මට්ටමකින් ඉහළ දැමීමට ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය ඊයේ පියවර ගත්තේය. රජයේ සුරැකුම්පත් සහ දේශීය මූල්‍ය ආයතන කෙරෙහි දැඩි ලෙස නිරාවරණය වී සිටින මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන සහ ද්‍රවශීලතා අවදානම්, රටේ ණය පැතිකඩ ශක්තිමත් වීමත් සමඟ අඩු වී ඇති බව ෆිච් ආයතනය මෙහිදී පෙන්වා දී තිබේ.




මෙම නවතම සමාලෝචනයට අනුව රාජ්‍ය අයිතිය යටතේ පවතින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත (SLIC Life) සහ සාමාන්‍ය රක්ෂණ (SLIC General) යන අංශ දෙකම 'A+(lka)' මට්ටමේ සිට 'AA-(lka)' මට්ටම දක්වා ඉහළ නංවා ඇත. එමෙන්ම එච්.එන්.බී. ලයිෆ් (HNB Life), එච්.එන්.බී. සාමාන්‍ය රක්ෂණ (HNB General Insurance) සහ පීපල්ස් ඉන්ෂුවරන්ස් (People’s Insurance) යන සමාගම් 'A(lka)' මට්ටමේ සිට 'A+(lka)' දක්වාත්, කෝ-ඔපරේටිව් ඉන්ෂුවරන්ස් (Co-operative Insurance) සමාගම 'BB(lka)' මට්ටමේ සිට 'BB+(lka)' දක්වාත් උසස් කර තිබේ. මේ අතර කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා (Continental Insurance Lanka) සමාගමේ ශ්‍රේණිගත කිරීම 'A(lka)' ලෙසත්, ඉදිකිරීම් ඇපකර අරමුදලේ (Construction Guarantee Fund) ශ්‍රේණිගත කිරීම 'BB(lka)' ලෙසත් තහවුරු කර ඇති අතර, මෙම ආයතන අටේම ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමක පවතින බව ෆිච් ආයතනය සඳහන් කරයි.

පසුගිය සැප්තැම්බර් 22 වැනිදා ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම 'CCC+' සිට 'B-' දක්වා ඉහළ දැමීමෙන් අනතුරුව, ඔක්තෝබර් මාසයේදී ෆිච් ආයතනය විසින් මෙරට ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය යළි ක්‍රමාංකනය කිරීම මෙම පියවරට පසුබිම් විය. ජාතික ශ්‍රේණිගත කිරීම් මගින් මෙරට අනෙකුත් ආයතනවලට සාපේක්ෂව එක් එක් ආයතනයේ මූල්‍ය ශක්තිය මැන බලනු ලැබේ. "රක්ෂණ සමාගම්වල ආයෝජන කළඹ ප්‍රධාන වශයෙන්ම දේශීය මුදල් ස්ථාවර ආදායම් රජයේ සුරැකුම්පත්, ආයතනික ණයකර සහ මූල්‍ය ආයතනවල තැන්පතු වලින් සමන්විත වන බැවින්, ඒවායේ ආයෝජන සහ ද්‍රවශීලතා අවදානම් රජයේ සහ දේශීය බැංකුවල අවදානම් සමඟ සමීපව බැඳී පවතිනවා. එබැවින් රජයේ ණය පැතිකඩෙහි ඇති වූ වර්ධනය මගින් රක්ෂණ සමාගම්වල එම අවදානම් අඩු වී ඇති බව අපි විශ්වාස කරනවා," යනුවෙන් ෆිච් ආයතනය ප්‍රකාශ කළේය.




ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම පසුවන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත රක්ෂණ අංශය දළ ලිඛිත වාරිකවලින් සියයට 14 ක වෙළෙඳපොළ කොටසක් හිමි කර ගනිමින් මෙරට තුන්වැනි විශාලතම ජීවිත රක්ෂණ ආයතනය ලෙස කටයුතු කරන අතර, ජුනි මස අවසන් වන විට එහි අවදානම් පාදක ප්‍රාග්ධන අනුපාතය සියයට 478 ක් විය. 2025 වසරේදී සියයට 20 ක වෙළෙඳපොළ කොටසක් සමඟ මෙරට විශාලතම සාමාන්‍ය රක්ෂණ ආයතනය බවට පත්ව සිටින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සාමාන්‍ය රක්ෂණ අංශයේ එම අනුපාතය සියයට 265 කි. දිට්වා (Ditwah) සුළි කුණාටුවට අදාළ රක්ෂණ හිමිකම් පෑම් 2025 වසරේ ප්‍රතිඵල කෙරෙහි බලපෑම් එල්ල කළද, වඩාත් දැඩි හිමිකම් කළමනාකරණයක් සහ මිලකරණ විනයක් තුළින් එහි රක්ෂණකරණ කාර්යසාධනය ක්‍රමයෙන් වර්ධනය වනු ඇතැයි ෆිච් ආයතනය අපේක්ෂා කරයි.

එච්.එන්.බී. ලයිෆ් සහ එහි පූර්ණ අනුබද්ධිත සාමාන්‍ය රක්ෂණ සමාගම ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළ දැමීමට සමූහයේ ශක්තිමත් ලාභදායීතාව හේතු වී තිබේ. 2023 සිට 2025 දක්වා කාලය තුළ ක්ෂේත්‍රයේ සාමාන්‍ය වර්ධනය සියයට 19 ක් වෙද්දී, එච්.එන්.බී. ලයිෆ් සමාගමේ දළ ලිඛිත වාරික සාමාන්‍යයෙන් සියයට 30 කින් වර්ධනය වීම කැපී පෙනෙන කරුණකි. කෙසේ වෙතත් එච්.එන්.බී. සාමාන්‍ය රක්ෂණ සමාගමේ අවදානම් පාදක ප්‍රාග්ධන අනුපාතය 2024 වසරේ පැවති සියයට 219 සිට ජුනි මස අවසන් වන විට සියයට 198 දක්වා පහළ බැස ඇති අතර, අවශ්‍ය වුවහොත් එච්.එන්.බී. ලයිෆ් වෙතින් ප්‍රාග්ධන සහාය ලැබෙනු ඇතැයි ෆිච් ආයතනය අපේක්ෂා කරයි.



මේ අතර, දැඩි රක්ෂණකරණ ප්‍රතිපත්ති සහ ඉහළ ආයෝජන ප්‍රතිලාභ හේතුවෙන් පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ වාර්ෂික කොටස් ප්‍රතිලාභය 2025 වසරේ පැවති සියයට 6 සිට 2026 වසරේ පළමු අර්ධයේදී සියයට 12 දක්වා දෙගුණ වී තිබේ. කෝ-ඔපරේටිව් ඉන්ෂුවරන්ස් සමාගම ද වසර තුනක සාමාන්‍යය වූ සියයට 0.3 ට සාපේක්ෂව පළමු අර්ධයේදී සියයට 6 ක වාර්ෂික කොටස් ප්‍රතිලාභයක් වාර්තා කර ඇති අතර, පෙර පැවති දුර්වලතා මඟහරවා ගැනීමට ගත් පියවර හේතුවෙන් එම සමාගමේ ආයතනික පාලනය පිළිබඳ ෆිච් තක්සේරුව ද ඉහළ ගොස් ඇත.

එහෙත් සියලුම සමාගම්වල තත්ත්වය එක සමාන නොවන බව කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් සමාගමේ දත්ත පෙන්නුම් කරයි. වෛද්‍ය රක්ෂණ හිමිකම් පෑම් ඉහළ යාම හේතුවෙන් එහි ඒකාබද්ධ අනුපාතය සියයට 100 සිට සියයට 119 දක්වා ඉහළ ගිය අතර, ඊට පෙර වසරේ රුපියල් මිලියන 436 ක ලාභයක් ලැබූ එම සමාගම 2025 වසරේදී රුපියල් මිලියන 654 ක ශුද්ධ අලාභයක් කරා ඇද වැටුණි. 2026 පළමු අර්ධයේදී එම අනුපාතය සියයට 113 දක්වා යම් තරමකින් ලිහිල් වුවද, අඛණ්ඩව සිදුවන අලාභයන් එහි ප්‍රාග්ධන තත්ත්වය දුර්වල කළ හැකි බවට ෆිච් ආයතනය අනතුරු අඟවයි. මේ අතර මෙල්ස්ටාකෝප් පී.එල්.සී. (Melstacorp PLC) සමාගම සතු සියයට 81 ක කොටස් ප්‍රමාණයක් ජනශක්ති පී.එල්.සී. (Janashakthi PLC) වෙත මූලික වශයෙන් අත්පත් කර ගැනීමට යෝජිත ගනුදෙනුව තවමත් අවසන් නියාමන අනුමැතිය අපේක්ෂාවෙන් පවතී.

විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක වන යටිතල පහසුකම් ව්‍යාපෘති මගින් බැඳුම්කර සහ ඇපකර සඳහා වන ඉල්ලුම ඉහළ නැංවීමත් සමඟ, රාජ්‍ය අයිතිය යටතේ පවතින ඉදිකිරීම් ඇපකර අරමුදලේ මූලික ඇපකර ආදායම පළමු අර්ධය තුළ යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. එහෙත් එහි ලාභදායීතාවට ප්‍රධාන වශයෙන්ම දායක වන්නේ ආයෝජන ආදායම බව පෙන්වා දෙන ෆිච් ආයතනය, එම අරමුදලේ ඉපැයීම් ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ වේගය මත සංවේදී ලෙස රඳා පවතින බව වැඩිදුරටත් අවධාරණය කරයි.