මත්ද්‍රව්‍ය වැටලීමක් මුවාවෙන් නිවසකට ඇතුළු වී රුපියල් ලක්ෂ 24ක් වටිනා රන් මාලයක් ඇතුළු දේපළක් කොල්ලකෑවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් කණ්ඩායමකට එරෙහිව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. බදුල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් මෙම පරීක්ෂණ දියත් කර ඇත්තේ අදාළ සිද්ධියට මුහුණ දුන් ව්‍යාපාරිකයකු විසින් පොලිස්පති සහන මැදිරිය වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුවය.
මෙම විමර්ශනයට පාදක වී ඇති පැමිණිල්ලට අනුව, අදාළ නිලධාරීන් විසින් රන් මාලයට අමතරව රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් සහ විස්කි බෝතල් හතරක් ද නිවසින් සොරාගෙන ගොස් ඇතැයි චෝදනා නැඟේ. සිද්ධිය වූ දිනයේ සිවිල් ඇඳුමෙන් සැරසී පැමිණි පුද්ගලයන් හය දෙනකු නිවස පරීක්ෂා කර ඇති අතර, එහිදී අයිස් මත්ද්‍රව්‍ය හමු වූ බව පවසමින් ඔවුන් විසින් මෙම ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම වැටලීම සැලසුම් සහගතව සිදු කළ එකක් බවට ව්‍යාපාරිකයා සැක පළ කරයි. ඔහුගේ පැමිණිල්ලේ දැක්වෙන පරිදි, පොලිස් නිලධාරින් පැමිණීමට සුළු මොහොතකට පෙර නාඳුනන පුද්ගලයකු පැමිණ ඔහු හා කතාබහ කර පිටව ගොස් ඇත. වැටලීමෙන් පසු නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතිය ද පරීක්ෂා කිරීමට යැයි පවසමින් අදාළ නිලධාරීන් විසින් ගලවාගෙන ගොස් ඇති බව පැවසේ.
මෙම අත්අඩංගුවට ගැනීමේදී ව්‍යාපාරිකයා පවුම් හතරක් බරැති සිය රන් මාලය පැලඳ සිටි බවත්, එය නිවසේ තබා එන ලෙස පොලිස් නිලධාරීන් ඔහුට දැනුම් දුන් බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. පොලිසියේ උපදෙස් මත ඔහු එම රන් මාලය නිවසේ අල්මාරියේ තබා ගොස් ඇත.
පසුව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ අසත්‍ය චෝදනාවක් ගොනු කර තමන්ව මාස කිහිපයක්ම රක්ෂිත බන්ධනාගාරගත කළ බවට ව්‍යාපාරිකයා චෝදනා කරයි. සොරකම පිළිබඳව අනාවරණය වී ඇත්තේ ඔහු බන්ධනාගාරගතව සිටියදීය. ඔහුව බැලීමට පැමිණි සහෝදරියකට නිවස පරීක්ෂා කරන ලෙස ඔහු කළ දැනුම් දීමකට අනුව ඇය නිවසට ගිය අවස්ථාවේදී, අල්මාරියේ තබා ගිය රන් මාලය, මුදල් මෙන්ම විස්කි බෝතල් ද අතුරුදන්ව ඇති බව හෙළි වී ඇත.
තමා අත්අඩංගුවට පත්වීමෙන් පසුව නිවසට වෙනත් කිසිවකුත් ඇතුළු වී නොමැති බැවින්, මෙය අදාළ පොලිස් නිලධාරීන් පිරිස විසින්ම සැලසුම් සහගතව සිදු කරන ලද සොරකමක් බවට පැමිණිලිකරු දැඩිව සැක පළ කරයි. බදුල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මේ වන විට එම චෝදනාව සම්බන්ධයෙන් සිය පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටියි.