cctv-in-all-police-cells

පසුගිය වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ පොලිස් අත්අඩංගුවේ පසුවූ පුද්ගලයන් හැත්තෑ නව දෙනෙකුට සිය ජීවිත අහිමි වී තිබේ. මෑතකදී හෝමාගම පොලිස් සිර මැදිරියක් තුළදී තරුණයෙකු හදිසියේ මරුමුවට පත්වීම ද වාර්තා වූයේ මෙවැනි පසුබිමක් තුළයි.

අත්අඩංගුවට පත්වන සැකකරුවන් සම්බන්ධයෙන් පැනනැගී ඇති මෙම තත්ත්වය හමුවේ, නව ආරක්ෂිත පියවරක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත.




පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරන ආකාරයට, දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල සිර මැදිරි ආශ්‍රිතව ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. මෙම නව කැමරා පද්ධති ස්ථාපනය කෙරෙන්නේ සිර මැදිරිවල ඇතුළත පැහැදිලිව දර්ශනය වන පරිදිය.

සිර මැදිරි තුළ රඳවා සිටින සැකකරුවන්ට පහරදීම් හෝ වෙනත් කිසිදු අකටයුතුකමක් සිදුවීම වැළැක්වීම මෙම පියවරේ ප්‍රධානතම අරමුණ බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.




ඊට අමතරව, අත්අඩංගුවේ පසුවන්නන්ගේ ආරක්ෂාව මෙන්ම සිර මැදිරිවල නීත්‍යානුකූල භාවය සුරක්ෂිත කිරීම සඳහා ද මෙමගින් ඍජු සහයක් ලැබෙනු ඇත. විශේෂයෙන්ම, සිරකරුවන් බැලීමට පැමිණෙන ඥාතීන් හරහා සිර මැදිරි තුළට විවිධ නීති විරෝධී ද්‍රව්‍ය ලබාදීමේ ක්‍රියාවලිය ද මෙම ආරක්ෂිත කැමරා පද්ධති ක්‍රියාත්මක වීමත් සමඟ වැළැක්වෙනු ඇත.