bribery-investigations-into-kumara-jayakody-sunil-watagalas-properties

හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සහ වත්මන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන්ගේ දේපළ හා වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.




කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම තීරණයට එළැඹ ඇත්තේ, අදාළ දේශපාලනඥයින් දෙදෙනා මීට පෙර අවස්ථාවලදී ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශන සහ පසුව ඉදිරිපත් කරන ලද නව ප්‍රකාශන අතර සැසඳීමේදී නිරීක්ෂණය වූ යම් වෙනස්කම් හේතුවෙනි. ඒ අනුව, පසුව ඉදිරිපත් කළ ලේඛනවල අලුතින් සටහන් කර ඇති අතිරේක වත්කම් මොනවාද, ඒවායේ නීත්‍යනුකූල මූලාශ්‍ර කවරේද සහ එම දේපළ උපයාගත් ආකාරය කෙසේද යන්න පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා පුළුල් අධීක්ෂණයක් මෙන්ම වැඩිදුර නීතිමය විමසීම් ද අවශ්‍ය බව අල්ලස් කොමිසමට පෙනී ගොස් ඇත.

මෙම පරීක්ෂණ කටයුතු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට යටත්ව, ස්වාධීනත්වයකින් යුතුව ක්‍රියාත්මක වන බව ද කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.




මෙම විමර්ශන සඳහා පසුබිම සැකසෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේදී සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වන ජමුනි කමන්ත තුෂාර ද සිල්වා මහතා විසින් අල්ලස් කොමිසමට ගොනු කරන ලද ලිඛිත පැමිණිල්ලක් පදනම් කරගනිමිනි. එම පැමිණිල්ල මගින් කැබිනට් අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති සහ නලින්ද ජයතිස්ස ඇතුළු රජයේ ප්‍රබලයින් හය දෙනෙකු ඉලක්ක කර තිබුණි.

කෙසේ වෙතත්, එම පිරිස සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික සොයා බැලීම්වලදී මතු වූ නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින්, දැනට පූර්ණ විමර්ශනයක් සඳහා තෝරාගෙන ඇත්තේ ඉංජිනේරු කුමාර ජයකොඩි සහ නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන්ගේ ලිපිගොනු පමණක් බව වාර්තා වේ.



මේ අතර, දේපළ සම්බන්ධයෙන් වන මෙම පරීක්ෂණවලට අමතරව, හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට තවත් නීතිමය ක්‍රියාවලියකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ, ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව විසින් ඔහුට එරෙහිව නොතීසි නිකුත් කරනු ලැබීම හේතුවෙනි. ලැබී ඇති නොතීසියට අනුව ඔහු පසුගියදා එම කොමිසම හමුවේ පෙනී සිටිමින් අදාළ කරුණු ඉදිරිපත් කර ඇත.