blue-whales-disappear-in-the-galapagos-ocean-region-due-to-el-nino

මාස නවයක් පුරා ගලපගෝස් දූපත් ආශ්‍රිත සාගර කලාපයේ සිදුකළ විද්‍යාත්මක ගවේෂණයක අවසානය සනිටුහන් වූයේ කිසිවකුත් නොසිතූ අන්දමේ අභිරහසක් ඉතිරි කරමිනි. 2025 ඔක්තෝබර් සිට 2026 ජූලි දක්වා කාලය තුළ, ඉක්වදෝරයට අයත් මෙම දූපත් සමූහය අවට ඓතිහාසික වශයෙන් නිල් තල්මසුන් ගැවසුණු කලාපයන්හි පර්යේෂකයන් විසින් පුළුල් ගවේෂණයක් දියත් කරන ලදී.

ඔවුන්ගේ අරමුණ වූයේ මෙම යෝධ සාගර ක්ෂීරපායින්ගේ සිරුරු මත චන්ද්‍රිකා සංවේදක සවිකර ඔවුන්ගේ සංක්‍රමණික රටාවන් පිළිබඳව වඩාත් පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමයි. නමුත් ඒ සියලු බලාපොරොත්තු බිඳදමමින්, ගවේෂණ කාලය තුළ එකදු නිල් තල්මසෙකු හෝ සොයාගැනීමට පර්යේෂකයන්ට හැකි වූයේ නැත.




මෙම යෝධයන්ගේ හදිසි අතුරුදන් වීමට ප්‍රධානතම හේතුව ලෙස විද්‍යාඥයන් සැක කරන්නේ ‘එල් නිනෝ’ (El Niño) තත්ත්වය හේතුවෙන් සාගරයේ සිදුවූ අසාමාන්‍ය උණුසුම් වීමයි. මෙම කාලසීමාව තුළ සාගර මතුපිට ජලයේ උෂ්ණත්වය ෆැරන්හයිට් 82 (සෙල්සියස් 28) දක්වා ඉහළ ගොස් තිබිණි. තවද, අඩි 330ක් (මීටර් 100ක්) පමණ ගැඹුරු මුහුදේ උෂ්ණත්වය ෆැරන්හයිට් 66 ත් 67 ත් (සෙල්සියස් 18.9 - 19.4) අතර අගයක පැවතුණු අතර, එය සාමාන්‍යයෙන් එම කාල වකවානුවේ පැවතිය යුතු උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් 9කින් (සෙල්සියස් 5කින්) පමණ ඉහළ අගයකි.

නිල් තල්මසෙකු දිනකට ක්‍රිල් (krill) නමැති කුඩා කවචයන්ගෙන් සමන්විත තම ප්‍රධාන ආහාරය රාත්තල් 12,100ක් (කිලෝග්‍රෑම් 5,500ක්) පමණ පරිභෝජනය කරයි. ඒ සඳහා ඔවුන් ප්‍රමාණවත් තරම් ආහාර ගැවසෙන කලාප සොයා යා යුතුය. එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ගලපගෝස් මුහුදු තීරයේ ක්‍රිල් හිඟයක් හටගත්තේද යන්න මෙතෙක් සෘජුවම තහවුරු වී නොමැති වුවද, වක්‍ර සාක්ෂි මගින් පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.




පෙර ගවේෂණයන්ට අනුව නිල් තල්මසුන් වැඩි වශයෙන් ආහාර සොයා යන්නේ ෆැරන්හයිට් 71ක පමණ උෂ්ණත්වයක් සහිත ජල ස්තරයන් වෙතය. මෙම කන්නයේදී ගලපගෝස් මුහුදේ එම උෂ්ණත්වය වාර්තා වූයේ අඩි 197ක (මීටර් 92ක) පමණ ගැඹුරිනි. නමුත් ක්‍රිල් සතුන්ගේ ප්‍රධාන ආහාරය වන ෆයිටොප්ලැන්ක්ටන් (phytoplankton) බහුලව ගැවසෙන බවට ඉඟි කරන ක්ලෝරොෆිල් ඉහළම සාන්ද්‍රණයක් වාර්තා වූයේ ඊට වඩා බොහෝ ඉහළින්, එනම් මතුපිට සිට අඩි 39 ත් 121 ත් (මීටර් 12 - 37) අතර ගැඹුරකය. මේ අනුව, තල්මසුන් ගැවසීමට ප්‍රිය කරන ජල ස්තරය සහ ඔවුන්ගේ ආහාර බහුලව පවතින ජල ස්තරය අතර යම් නොගැලපීමක් නිර්මාණය වී ඇති බව මෙම දත්ත මගින් යෝජනා කෙරේ.

"අවංකවම, මීට පෙර කිසිදාක අපට මෙවැනි අසාමාන්‍ය තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවී නැහැ," යනුවෙන් ගවේෂණයට එක්වූ ක්විටෝහි යුනිවර්සිඩෑඩ් සෙන් ෆ්‍රැන්සිස්කෝ (Universidad San Francisco de Quito) විශ්වවිද්‍යාලයේ සමුද්‍ර ජීව විද්‍යාඥ ජුවාන් පැබ්ලෝ මුනෝස් සඳහන් කළේය.



මෙම අසාමාන්‍ය උණුසුම් ජල ප්‍රවාහයන් ගලපගෝස් දූපත් අවට මුහුදේ තල්මසුන්ට ආහාර සොයාගැනීම වළක්වන "උෂ්ණත්ව බාධකයක්" ලෙස ක්‍රියා කරන බව ගවේෂණ කණ්ඩායමේ නායිකා, ක්විටෝහි යුනිවර්සිඩෑඩ් සෙන් ෆ්‍රැන්සිස්කෝ විශ්වවිද්‍යාලයේ ගලපගෝස් මණ්ඩපයේ සහ ගලපගෝස් විද්‍යා මධ්‍යස්ථානයේ පර්යේෂිකා ඩැනියෙලා අලාර්කෝන් පවසන්නීය. ඇය සඳහන් කරන්නේ, වඩාත් සිසිල් උෂ්ණත්වයක් සහ වැඩි ආහාර ප්‍රමාණයක් පවතින දකුණු දෙසට වන්නට පිහිටි කලාප වෙත නිල් තල්මසුන් සංක්‍රමණය වී ඇති බවට තමන් අනුමාන කරන බවයි. ඒ අනුව පේරු රාජ්‍යයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ හෝ මෙතෙක් ගවේෂණයට ලක් නොවූ වෙනත් මුහුදු කලාපයක ඔවුන් ගැවසෙනු ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේ වෙතත්, මෙම දැවැන්තයන්ගේ අතුරුදන් වීම පර්යේෂකයන්ට සම්පූර්ණයෙන්ම පුදුමයක් නොවීය. මෙම නවතම ගවේෂණය ආරම්භ කිරීමට පෙර සිටම තල්මසුන්ගේ දර්ශනය වීම් ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුණි. ගලපගෝස් හි පුරවැසි විද්‍යා ජාලයක් වන සෙටාසියා ගලපගෝස් (Cetácea Galápagos) වෙත ලැබෙන වාර්තා 2025 අගෝස්තු සහ සැප්තැම්බර් මාස වන විටත් අඩුවෙමින් තිබූ බව තහවුරු වී ඇත. 2026 මැයි සහ ජූනි මාසවලදී නිල් තල්මසුන් දුටු බවට හුදෙකලා වාර්තා දෙකක් ලැබී තිබුණද, ගවේෂණ කටයුතු තවදුරටත් තීව්‍ර කළද ඒවා තහවුරු කරගැනීමට කණ්ඩායමට හැකි වූයේ නැත.

"තත්ත්වය වෙනස් වී ඇති බව අපි දැනගෙන හිටියා. නමුත් අපි හිතුවා තව ටිකක් උත්සාහ කළොත් තල්මසුන් කිහිපදෙනෙකු හෝ සොයාගන්න පුළුවන් වෙයි කියලා. අපි හෙව්වා, දිගටම හෙව්වා... නමුත් අපිට කිසිම දෙයක් හොයාගන්න ලැබුණේ නැහැ," යනුවෙන් ඩැනියෙලා අලාර්කෝන් අවසාන වශයෙන් ප්‍රකාශ කළාය.

blue-whales-disappear-in-the-galapagos-ocean-region-due-to-el-nino

blue-whales-disappear-in-the-galapagos-ocean-region-due-to-el-nino



blue-whales-disappear-in-the-galapagos-ocean-region-due-to-el-nino