of-the-52-major-state-enterprises-40-are-profitable-and-12-are-in-loss

2026 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන්හි මූල්‍ය ක්‍රියාකාරීත්වය අන්ත දෙකක පැහැදිලි චිත්‍රයක් නිර්මාණය කර තිබේ. එක් පසෙකින් රාජ්‍ය බැංකු ඇතුළු ආයතන 40ක් බිලියන ගණනින් ලාබ වාර්තා කරද්දී, අනෙක් පසින් ජාතික ගුවන් සේවය ඇතුළු ආයතන 12ක් දැවැන්ත මූල්‍ය අවදානමක සිරවී සිටින බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වර්ෂය මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ තාවකාලික දත්ත වාර්තාව අනාවරණය කරයි.




මෙම දත්තවලට අනුව ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වය ඉහළම ලාබ ලබන ආයතන ලෙස පෙරමුණ ගෙන ඇත. ලංකා බැංකුව රුපියල් බිලියන 62.6ක විශාලතම බදු පෙර ලාබය වාර්තා කර ඇති අතර, මහජන බැංකුව රුපියල් බිලියන 32.6ක් ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් බිලියන 22.5ක් ද වශයෙන් ඉහළ ලාබයක් උපයා තිබේ. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය ද රුපියල් බිලියන 36.5ක කැපී පෙනෙන ලාබයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

යටිතල පහසුකම් සහ සේවා අංශයේ ප්‍රධාන ආයතනයක් වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය අදාළ මාස හය තුළ රුපියල් බිලියන 34.5ක ලාබයක් පෙන්වා තිබේ. මීට අමතරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 29.1ක බදු පෙර ලාබයක් වාර්තා කර ඇතත්, එම මූල්‍ය වාර්තාව පිටුපස රජය විසින් ලබා දී ඇති රුපියල් බිලියන 41ක සහනාධාරය ද පවතින බව දත්ත වාර්තාවෙන් පෙන්වා දෙයි.




සීමා සහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම රුපියල් බිලියන 24.8ක ලාබයක් වාර්තා කරද්දී, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් බිලියන 16.1ක ද, ජාතික රක්ෂණ භාර අරමුදල රුපියල් බිලියන 12.8ක ද ලාබයක් උපයා ඇත. සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් බිලියන 5.34 බැගින් සමාන ලාබ සටහන් කර තිබීම ද විශේෂත්වයකි. මීට අමතරව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රුපියල් බිලියන 3.5ක, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 2.6ක, ලංකා විදුලිබල මණ්ඩලය සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව රුපියල් බිලියන 1.4 බැගින් ද, මිල්කෝ (පුද්ගලික) සමාගම රුපියල් මිලියන 999ක ද බදු පෙර ලාබ වාර්තා කර ඇත.

ලාබ ලබන ආයතනවල තත්වය එසේ වෙද්දී, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය 12 අතරින් ප්‍රධානතම මූල්‍ය බිඳවැටීම සටහන් කර ඇත්තේ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි. 2025 වසරේදී රුපියල් බිලියන 23.2ක පාඩුවක් ලබා සිටි එම සමාගම, 2026 මුල් මාස හය තුළ පමණක් රුපියල් බිලියන 35.5ක දැවැන්ත පාඩුවක් වාර්තා කරමින් අර්බුදකාරීම රාජ්‍ය ව්‍යවසාය බවට පත්ව තිබේ.



එසේම පසුගිය වසරේ ලාබ ලැබූ ඇතැම් ආයතන ද මේ වසරේ මුල් අර්ධය වන විට පාඩු ලබන තත්වයට පත්ව ඇත. 2025 දී රුපියල් බිලියන 4.3ක ලාබයක් ලැබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මෙවර රුපියල් මිලියන 471ක පාඩුවක් හිමි කරගෙන තිබේ. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 185ක ද, ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය රුපියල් මිලියන 37ක ද පාඩුවක් මෙවර වාර්තා කර ඇත්තේ පසුගිය වසරේ ඔවුන් ලැබූ ලාබය ප්‍රතිවර්තනය වෙමිනි.

සීමාසහිත ලංකා සීනි සමාගම මේ වසරේ මුල් මාස හයේදී රුපියල් බිලියන 1.5ක පාඩුවක් ලබා ඇති අතර එය 2025 වසරේ ලැබූ රුපියල් බිලියන 3.1ක පාඩුවට සාපේක්ෂව යම් අඩුවීමකි. රාජ්‍ය මාධ්‍ය ආයතන වන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව රුපියල් මිලියන 166ක සහ ගුවන් විදුලි සංස්ථාව රුපියල් මිලියන 68ක පාඩුවක් ද, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 193ක, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රුපියල් මිලියන 182ක සහ සීමා සහිත ලංකා සතොස රුපියල් මිලියන 89ක පාඩුවක් ද වාර්තා කර තිබේ.

මෙම අතිශය විෂම මූල්‍ය දත්ත මධ්‍යයේ, රාජ්‍ය ව්‍යවසාය පද්ධතියේ දැවැන්ත ව්‍යූහාත්මක වෙනසක් සිදු කිරීමට රජය සූදානම් වෙමින් සිටී. ඉදිරියේදී ගෙන ඒමට නියමිත රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ නව පනත් කෙටුම්පත හරහා මෙම ආයතන සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස්කම් රැසක් සිදු වන බව මුදල්, ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා පැවැත්වුණු ආයෝජක හමුවකදී තහවුරු කළේය.

"අද වෙන කොට රාජ්‍ය ව්‍යවසාය විදියට හඳුනා ගත්ත ආයතන 52725 තිබෙනවා. නමුත් ඒවායින් කිහිපයක් විතරයි ව්‍යවසාය ලෙස ක්‍රියාත්මක වෙන්නේ. වෙනත් ආයතනවලට වෙනත් රාජකාරි තිබෙනවා," යනුවෙන් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, රජයේ ඉදිරි ප්‍රතිපත්තිය ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය. "එතැනදී පැහැදිලිවම කියන්න ඕනේ රජයට වුවමනාවක් නැහැ ව්‍යාපාර සිදු කරන්න. රජයට ඕනෑ පහසුකම් සලසන්නෙක් ලෙස කටයුතු කරන්න විතරයි."

මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ ඇතැම් ව්‍යවසායන් ප්‍රතිසංවිධානයට හෝ විවිධාංගීකරණයට ලක් වන අතර, සමහර ආයතන ඒකාබද්ධ කිරීමක් ද සිදු වීමට නියමිතය. තවත් ආයතන පෞද්ගලික අංශය සමග හවුල්කාරීත්වය යටතේ පවත්වාගෙන යාමට රජය අපේක්ෂා කරයි.

දැනට පවතින විවිධ නීතිමය රාමු වෙනුවට මෙම සියලු ව්‍යවසායන් තනි පොදු නීතිමය රාමුවක් යටතට ගෙන ඒම නව පනතේ අරමුණයි. වෙළෙඳපොළ තත්වයන් සහ අවදානම් පිළිබඳව ස්වාධීනව තීරණ ගත හැකි සංස්ථාගත සමාගම් බවට රාජ්‍ය ආයතන පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා යම් කාලයක් ගතවනු ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධන ඉදිරියේදී සිදු කරන බවත් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. සමහර රාජ්‍ය ආයතන බිලියන ගණනින් ලාබ උපයද්දී තවත් ආයතන මහජන මුදල් ගිල දමන පසුබිමක, මෙම නව පනත ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ව්‍යූහයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.