උපාධි සහතිකය අතට ගැනීමට පවා ශාරීරිකව අපහසු වුවද, අධිෂ්ඨානයෙන් තම දෙපයින් නැගී සිටි තරුෂාට උපාධිය පිරිනමන මොහොතේ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අකුරැටියේ නන්ද නාහිමියන් පවා අසුනින් නැගී සිටියේ ඒ ධෛර්යයට ගෞරවයක් පුද කරමිනි.
මාතර, වැලිගම ප්‍රදේශයේ පදිංචි ගුරු යුවළක් වන බන්දුල සහ පද්මිණීගේ කුළුඳුල් දියණිය ලෙස 1999 පෙබරවාරි 2 වැනිදා මෙලොව එළිය දුටු තරුෂා උපතේදී නොහැඬීම නිසා නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කිරීමට වෛද්‍යවරුන්ට සිදු විය. මාස ගණනක් ගත වුවද සාමාන්‍ය දරුවෙකුගේ වර්ධන ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් විවිධ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමෙන් පසු අනාවරණය වූයේ ඇයගේ මොළයේ ස්නායුවල ඇති වූ යම් වෙනස්කමක් නිසා ක්‍රියාකාරකම් ප්‍රමාද වන බවයි.
වෛද්‍ය උපදෙස් අනුව දෙමාපියන් කළ අප්‍රතිහත කැපවීමේ සහ ව්‍යායාමවල ප්‍රතිඵලයක් ලෙස තරුෂා ක්‍රමයෙන් ඇවිදීමට පටන් ගත්තාය. ඇයගේ අදහස් පැහැදිලිව වටහා ගැනීමට ඇතැම් විට අපහසු බැවින් සිය නැගණිය වන ඒෂානිගේ සහාය ඇතිව තරුෂා සිය අතීතය සිහිපත් කළාය. "ඉස්සර අම්මයි තාත්තයි මට රුපියලක් පෙන්නලා ඒක ගන්න ගෙදර එහාට මෙහාට ඇවිද්දවනවා. මාව ඇවිද්දවන්න ඒ දෙන්නා ගොඩක් මහන්සි වුණා. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ඒ නිසා ගෙදරදී අම්මා මට හැමදේම කියලා දුන්නා. මට ඉගැන්නුවා" යනුවෙන් ඇය පැවසුවාය.
වයස අවුරුදු පහේදී පෙරපාසල් ගමන ඇරඹූ ඇය, මාතර නිල්වලා කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා පසුව වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයට ඇතුළත් වූවාය. ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට පමණක් ලකුණු 97ක් ලබා ගැනීමට ඇය සමත් වූවාය. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ විශ්වවිද්‍යාල විභාගවලදී ප්‍රශ්න පැහැදිලි කර දීමට සහ ඇය පවසන පිළිතුරු ලිවීමට සහායකයන් දෙදෙනෙකුගේ සහාය ඇයට හිමි විය. පාසලේදී මෙන්ම රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේදී ද ගුරුවරුන්ගෙන්, ආචාර්යවරුන්ගෙන් සහ සනුරි ඇතුළු මිතුරියන්ගෙන් ඇයට නොමඳ සහායක් ලැබුණි.
තරුෂාට වඩා වසර දෙකක් බාල නැගණිය වන ඒෂානි ද මේ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. තම සොහොයුරියගේ දක්ෂතා ගැන ඇය කතා කරන්නේ මහත් ආඩම්බරයෙනි. තරුෂා මේ වන විට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර පොත් හතක් මුද්‍රණය කර ඇති අතර, ඉන් පොත් තුනක් පෙරපාසල් දරුවන් වෙනුවෙන් ද අනෙක් පොත් පාසල් දරුවන් වෙනුවෙන් ද සකස් කර තිබේ. ඒ සඳහා රට පුරා පොත්හල්වලින් ඇයට ඇණවුම් ලැබෙන බව ඒෂානි සඳහන් කළාය.
සිය උපාධිය පිළිබඳව අදහස් දක්වමින් තරුෂා පැවසුවේ, "මට හරිම සතුටුයි. ඉදිරියේදී මගේම ව්‍යාපාරයක් කරන්නත්, කවුන්සලින් කරන්නත් මම කැමතියි" යනුවෙනි.