
පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා ගෑස් තොග සඟවාගෙන, තමන් සතුව ගෑස් නොමැති යැයි පවසමින් පාරිභෝගිකයන් මුළා කළ මහනුවර ප්‍රදේශයේ වෙළෙන්දෙකුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වී තිබේ. මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් අදාළ වෙළෙන්දාට දඩ මුදලක් නියම කළ මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය, ඔහු සඟවාගෙන සිටි කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28ම රාජසන්තක කිරීමටද නියෝග කර ඇත.
මෙම සිද්ධියට මුහුණ පෑවේ මහනුවර, කොටුගොඩැල්ල වීදියේ පිහිටි ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිත ආයතනයකි. මෙම වෙළෙඳසල සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීහු 2026 ඔක්තෝබර් 29 වැනිදා විශේෂ වැටලීමක් දියත් කළහ.
මෙම වැටලීමේ ක්‍රියාවලිය සඳහා නිලධාරීන් විසින් සූක්ෂම ක්‍රමවේදයක් අනුගමනය කර තිබිණි. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරියෙකු උපාය දූතයෙකු ලෙස යොදවමින් අදාළ වෙළෙඳසල වෙත යැවීමට පියවර ගැනිණි. එහි ගිය උපාය දූතයා කිලෝග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට අවශ්‍ය බව වෙළෙන්දාගෙන් ඉල්ලා සිටියේය. නමුත් වෙළෙන්දා ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ තමන් සන්තකයේ ගෑස් සිලින්ඩර් තොග නොමැති බවයි.
වෙළෙන්දාගේ මෙම ප්‍රකාශයත් සමඟම ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් වහාම එම වෙළෙඳසල දැඩි පරීක්ෂාවකට ලක් කළහ. එහිදී වෙළෙන්දාගේ ප්‍රකාශය අසත්‍යයක් බව තහවුරු කරමින්, පාරිභෝගිකයන්ට අලෙවි නොකර සඟවා තිබූ කිලෝග්‍රෑම් 12.5 ක ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28 ක්ම සොයාගැනීමට නිලධාරීන්ට හැකි විය. අදාළ ගෑස් සිලින්ඩර් තොගය වහාම නඩු භාණ්ඩ ලෙස භාරයට ගත් විමර්ශන නිලධාරීහු, වෙළෙන්දාට එරෙහිව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගත්හ.
අනතුරුව අදාළ නඩු කටයුතු විභාගයට ගත් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නීති විරෝධී වෙළෙඳ පිළිවෙතට එරෙහිව දැඩි තීරණයක් ගනිමින් වෙළෙන්දාට දඩුවම් නියම කළ අතර, නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ ලිට්රෝ ගැස් සිලින්ඩර් 28ම රාජසන්තක කිරීමටද නියෝග කළේය.
භාණ්ඩ තොග වෙළෙඳසලේ තබාගෙන ඒවා නොමැති බව පවසන වෙළෙන්දන් හෝ වෙනත් පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ තොරතුරු දන්නේ නම්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ ඒ බව දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.