කිරිබත්ගොඩ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට අසාධ්‍ය රෝගියකු රැගෙන යාමට පැමිණි පෞද්ගලික ගිලන් රථයකින් අල්ලස් මුදලක් ලබාගත් බව කියන රෝහලේ සුළු සේවකයකු සම්බන්ධයෙන් රෝගියාගේ ඥාතීන් විසින් එම රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරිවරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. සිද්ධියේ සත්‍යතාව තහවුරු වන පරිදි එම අවස්ථාවේදී පටිගත කළ වීඩියෝවක් ද රෝගියාගේ ඥාතීන් විසින් වට්ස්ඇප් මාර්ගයෙන් වෛද්‍ය අධිකාරිවරිය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කිරිබත්ගොඩ මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරිනී තනුජා ගුණසේකර මහත්මියගෙන් දුරකතනය ඔස්සේ කළ විමසීමකදී ඇය පැවසුවේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සහ වීඩියෝ පටයක් ද සමඟ ලැබුණු බවය. ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට ද පැමිණිල්ලක් යොමු කළ බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවත් ඇය පැවසුවාය.
පෞද්ගලික ගිලන් රථ සේවයේ දුරකතන අංකය රෝගියාගේ ඥාතීන්ගෙන් ඉල්ලාගෙන ඇති සේවකයා, තමන්ගේ මාර්ගයෙන් ගිලන් රථය ගෙන්වූ බැවින් කොමිස් මුදලක් අවශ්‍ය බව පවසා තිබේ. එහිදී ප්‍රථමයෙන් ප්‍රවාහන ගාස්තුව ලෙස රුපියල් 24,000ක මුදලක් ඉල්ලා තිබුණ ද, පසුව ගිලන් රථ රියැදුරු රුපියල් 32,000ක මුදලක් ඉල්ලා ඇත.
සුළු සේවකයා විසින් ගිලන් රථයෙන් අල්ලස් මුදලක් ලබාගත් බව පැහැදිලිව වටහාගත් ඥාතීන් ඒ සම්බන්ධයෙන් ඔහුට චෝදනා කිරීමෙන් පසුව, වංචනික ලෙස ලබාගත් මුදල නැවත ගෙවීමට සේවකයා එකඟ වී ඇත. එම සිදුවීම රෝගියාගේ ඥාතීන් විසින් වීඩියෝගත කර තිබේ.
කොළඹ ජාතික රෝහල තමන් පදිංචිව සිටින ප්‍රදේශයට ආසන්නයේ පිහිටා ඇති බැවින් රෝගියා එම රෝහලට රැගෙන යාමට තීරණය කිරීමෙන් පසුව ඒ සඳහා පෞද්ගලික ගිලන් රථ සේවයක සහය ලබාගැනීමට තීරණය කළ බව සිද්ධියට මුහුණ දුන් අයෙක් පැවසීය.
රෝගියා පසුගිය 21 වැනි සෙනසුරාදා මියගිය බවත්, රජයේ රෝහලකදී මෙවැනි වංචනික ක්‍රියා නැවත සිදු නොවිය යුතු බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ට පැමිණිලි කළ බවත් රෝගියාගේ ඥාතීහු පැවසූහ.