මියගිය කාවන්තිස්ස දළ ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු සහ නඩුව මෙහෙයවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පවරන ලෙස මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනවිය නියෝග කර තිබේ. ඒ අනුව, මෙතෙක් නඩුව මෙහෙයවූ ගල්ගමුව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න මහතා වෙත මෙම නියෝගය නිකුත් කෙරිණි.
ඊයේ (11) මහව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී, කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් වැදගත් විද්‍යාත්මක සාක්ෂි කිහිපයක් අධිකරණය හමුවේ අනාවරණය විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී.පී.එම්.ඒ. විජේසුන්දර මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ පශ්චාත් මරණ පරීක්ෂණයේ නිරීක්ෂණ සහිත අතුරු වෛද්‍ය වාර්තාවට අනුව, ඇතාගේ උදරයේ දකුණු පස තිබී වෙඩි උණ්ඩවලට අදාළ මූනිස්සම් තුනක් සොයාගෙන ඇති බව මහේස්ත්‍රාත්වරිය එහිදී ප්‍රකාශ කළාය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට නිපුණතා සංවර්ධන නිලධාරියකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔවුන් සතුව තිබී ගිනි අවි දෙකක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ. ඇතාගේ සිරුරෙන් සොයාගත් මූනිස්සම් තුන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා, පැමිණිල්ලේ තුන්වන සාක්ෂිය ලෙස නම් කර ඇති මෙම සැකකරුවන්ගෙන් අත්අඩංගුවට ගත් ගිනි අවිවලට එම මූනිස්සම් සමාන වන්නේද යන්න පිළිබඳ රස පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය වනජීවී නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළාය.
නඩු විභාගය අතරතුර, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ උදය රාජපක්ෂ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ තර්ක කළේ අලියා සහ ඇතා රජයේ පොදු දේපළ පනත යටතට නොගැනෙන බවයි. එමෙන්ම, මෙම වැටලීම සිදුකර සාක්ෂි සටහන් කරගත් වනජීවී නිලධාරී චතුර ගුණරත්න මහතා විසින්ම පැමිණිල්ල මෙහෙයවීම පිළිබඳව ද නීතිඥවරයා සිය දැඩි විරෝධය පළ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව නඩු තීන්දු කිහිපයක් ගෙනහැර දක්වමින් ඔහු ඉල්ලා සිටියේ තම සේවාදායකයින්ට ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට පවතින බැවින් ඕනෑම කොන්දේසියක් මත ඔවුන් මුදාහරින ලෙසයි.
එහෙත් සියලු පාර්ශ්වයන්ගේ කරුණු දැක්වීම් කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනවිය, විත්ති පාර්ශ්වයේ එකී තර්ක ප්‍රතික්ෂේප කළාය. අලියා සහ ඇතා යනු රජයේ පොදු දේපළ පනත යටතට ගැනෙන සතුන් බව අධිකරණයේ ස්ථාවරය යැයි ඇය පැහැදිලි කළාය. ඒ අනුව, පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම සැකකරුවන්ට ඇප ලබාදීමේ අධිකරණමය බලයක් සිය අධිකරණයට නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් දෙදෙනා එළැඹෙන 25 වැනිදා දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළාය.
මෙම නඩු විභාගය සඳහා පරිසර හා සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කිහිපයක නියෝජනයක් ද දක්නට ලැබිණි. 'Protect Elephant World Global Association' වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන විජිත වික්‍රමනායක සහ සඳගිරි බණ්ඩාර යන මහත්වරුන් පෙන්වා දුන්නේ, කාවන්තිස්ස දළ ඇතා පොදු දේපළ පනත යටතට ගැනෙන බවත්, මේ සම්බන්ධයෙන් පැමිණිල්ල මෙහෙයවන වනජීවී නිලධාරීන්ගේ මෙන්ම අධිකරණයේ ද විශේෂ අවධානය යොමු විය යුතු බවත්ය.
එමෙන්ම, කාවන්තිස්ස ඇතාට පමණක් නොව වර්තමානයේ මෙරට අනෙකුත් අලි ඇතුන්ගේ ජීවිතවලට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්, ඊට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ යූ ටියුබ්කරුවන් මුදල් ඉපැයීමේ අරමුණින් සිදුකරන විවිධ ක්‍රියාකාරකම් බවත් එම නීතිඥවරුන් අධිකරණය හමුවේ අවධාරණය කර සිටියහ. මීට අමතරව අලි ඇතුන් සුරැකීමේ සංවිධානය වෙනුවෙන් නීතිඥ රවින්ද්‍ර ඉරුගල් බණ්ඩාර මහතා ද පෙනී සිටියේය.