
පසුගිය කාලසීමාව පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සංවිධානාත්මක විදේශීය මූල්‍ය වංචා ජාලයන්හි තවත් එක් සැකකටයුතු මෙහෙයුමක් සොයා, පානදුර ප්‍රදේශයේ හෝටලයක් වෙත දැවැන්ත පොලිස් වැටලීමක් දියත් කර තිබේ. පානදුර දකුණ පොලිස් වසමට අයත් නල්ධිරුව ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයේ රැඳී සිටි චීන ජාතිකයින් 32 දෙනෙකු සහ පරිගණක ඇතුළු උපාංග තොගයක් මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.
අන්තර්ජාලය උපයෝගී කරගනිමින් මෙම පිරිස නීති විරෝධී ව්‍යාපාරයක හෝ මූල්‍ය වංචාවක නිරත වන බවට පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මෙම වැටලීමට මුල් වී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත 2026 නොවැම්බර් 06 සහ 07 දෙදින තුළ මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.
මෙම විමර්ශනයේ ස්වභාවය හේතුවෙන් ඊට ආයතන ගණනාවක සහාය කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ වාර්තා කොට්ඨාසය මෙන්ම නිල සුනඛ කොට්ඨාසයද මෙම සෝදිසි කිරීම් සඳහා එක්ව සිටි අතර, විමර්ශන කටයුතු සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සහායද ලබාගෙන ඇත.
හෝටලය තුළ රැඳී සිටි අදාළ චීන ජාතිකයින් 32 දෙනා විසින් යම් අපරාධයක් සිදුකර ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා, ඔවුන් භාරයේ තිබී සොයාගත් පරිගණක 23ක් සහ සෙසු උපාංග පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සිදු කරනු ලබයි.
විදේශීය ජාතිකයින් විශේෂයෙන් කණ්ඩායම් වශයෙන් දිවයිනට පැමිණ හෝටල්, ලැගුම්හල්, නිවාඩු නිකේතන සහ වෙනත් නවාතැන් ගන්නා ස්ථානවල රැඳී සිටිමින් මූල්‍ය වංචාවන්හි නිරත වීමේ ප්‍රවණතාවක් පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබුණි. මේ හේතුවෙන්, තම නවාතැන්පලවල් ලබාදීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන ලෙස පොලිසිය අදාළ හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම, මෙවැනි සැකකටයුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 118, 119 හදිසි ඇමතුම් අංක වෙත හෝ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.