ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ඔස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් තීරණය කර තිබේ. 38 හැවිරිදි වියෙහි පසුවන ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් නොව, පළමු පෙළ ක්‍රිකට් සහ List A තරග රටාවලින් ද සමුගන්නා බව නිවේදනය කර ඇත.
කෙසේ වෙතත්, 2027-28 තරගවාරය දක්වා සිය ගිවිසුම දීර්ඝ කරගෙන ඇති ඔහු, මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් බිග් බෑෂ් ලීග් (BBL) තරගාවලියට තවදුරටත් ක්‍රීඩා කිරීමට නියමිතය.පසුගිය වසරේ ජුනි මාසයේදීම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගෙන සිටි මැක්ස්වෙල්, විස්සයි-විස්ස තරග සඳහා දිගටම විවෘතව රැඳී සිටිමින් 2026 කෙටි ආකෘතියේ ලෝක කුසලානයට ද සහභාගී විය. එහෙත් එම තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මූලික වටයෙන් ඔබ්බට යාමට නොහැකි විය. එම තරගාවලියේදී පසුගිය පෙබරවාරි මාසයේ ඕමානයට එරෙහිව පැවති අවසන් තරගය, ඔහු සිය මව්බිම වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය බවට පත්ව තිබේ. එම තරගයේදී පන්දුවෙන් කඩුලු දෙකක් දවාගත් නමුත් ඔහුට පන්දුවට පහරදීමට අවස්ථාවක් හිමි නොවීය.
විස්සයි-විස්ස ලෝක කුසලානයට පෙර සහ පසුව කණ්ඩායම් කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කිහිපයක් පැවති බව ඔහු Final Word පෝඩ්කාස්ට් වැඩසටහන සමඟ අදහස් දක්වමින් අනාවරණය කළේය. කළමනාකාරීත්වයෙන් කිසිදු බලපෑමක් නොතිබූ බවත්, තීරණයක් නොගෙන තත්ත්වය විවෘතව තබාගැනීමට එකඟ වූ බවත් ඔහු සඳහන් කරයි. එළඹෙන තරගාවලි කිහිපයේදී කණ්ඩායම අනාගතය දෙස බැලීමට සැලසුම් කර තිබූ බවත්, බංග්ලාදේශ සංචාරයේදී අවස්ථාව ලද නවක ක්‍රීඩකයින් ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් එය ඔප්පු කළ බවත් මැක්ස්වෙල් පෙන්වා දෙයි.
දෙවරක් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායම් සාමාජිකයකු වන මැක්ස්වෙල්, 2021 වසරේදී ඔස්ට්‍රේලියාව විස්සයි-විස්ස ලෝක ශූරයන් බවට පත්වූ අවස්ථාවේ ජයග්‍රාහී ලකුණ රැස්කළ ක්‍රීඩකයා ද විය. සිය මව්බිම වෙනුවෙන් අවසන් වරට පිටියට පිවිසීමේදී තමාගේම ක්‍රීඩාංගණය වන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (MCG) සමුගැනීමේ තරගයකට එක්වීමට ඔහු තුළ යම් බලාපොරොත්තුවක් තිබී ඇත. එහෙත් ඉදිරියේදී එළඹෙන 2028 ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් ඉදිරි මාස 12ත් 24ත් අතර කාලය තුළ කණ්ඩායමේ සැලකිය යුතු වෙනස්කම් සිදුවනු ඇති බවත්, බිග් බෑෂ් ලීග් තරගයකින් සැමවිටම ලබාගත නොහැකි ජාත්‍යන්තර තරග පීඩනය අත්විඳීමට යොවුන් ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමට කළමනාකාරීත්වය ගෙන ඇති ක්‍රියාමාර්ගය තමාට මනාව වටහාගත හැකි බවත් ඔහු පැවසීය.
ෆ්‍රැන්චයිස් ලීග් පිටියේ දිගටම රැඳී සිටින මැක්ස්වෙල්, පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති සමාරම්භක යුරෝපීය විස්සයි-විස්ස ප්‍රිමියර් ලීග් තරගාවලියේදී බෙල්ෆාස්ට් වුල්ව්ස් කණ්ඩායම අවසන් මහා තරගය දක්වා මෙහෙයවනු ලැබීය. ඊට දින පහකට පසුව, One-Day Cup තරගාවලිය යටතේ වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් තරග දෙකකට ද ඔහු ක්‍රීඩා කළේය.
වික්ටෝරියා වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් එක්දින තරගයෙන් අනතුරුව, එය තම ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් තරගය බව කණ්ඩායමේ සගයන්ට පැවසීම තමා සිතුවාට වඩා දුෂ්කර වූ බව මැක්ස්වෙල් සිහිපත් කළේය. සිය මුළු ක්‍රීඩා දිවිය පුරාම ඔවුන් දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බවත්, කණ්ඩායම ඉදිරියේ කතා කරද්දී තමන් තරමක් සංවේදී වූ බවත් ඔහු සඳහන් කර තිබේ. සිය ක්‍රීඩා දිවියේ ඉතිරිව ඇති තරගාවලි කිහිපය සාර්ථකව අවසන් කරගැනීම සඳහා ශරීර සුවතාව වෙනුවෙන් වැඩි කාලයක් ආයෝජනය කළ යුතු අවස්ථාවකට තමන් පැමිණ සිටින බව ඔහු එහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.
ඉදිරියේදී එංගලන්ත කණ්ඩායම සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා සංචාරය කිරීමට නියමිත අතර, ඊට මෙල්බර්න්හිදී පැවැත්වෙන විස්සයි-විස්ස තරගයක් ද ඇතුළත් වේ. එම තරගයට සූදානම් වීමේ ආශාවක් ඔහු තුළ පැවතුණ ද, බිග් බෑෂ් ලීගය සඳහා සූදානම් වීම වෙනුවෙන් දණහිසට එන්නතක් ලබාගැනීමට ද ඔහු සූදානමින් පසුවිය. එබැවින් ජාත්‍යන්තර සමුගැනීමේ තරගය පිළිබඳ දොරගුළු වැසී යාමත් සමඟ, එළඹෙන බී.බී.එල්. තරගාවලියට පූර්ණ ශක්තියෙන් මුහුණදීම සඳහා සති අටක පුනරුත්ථාපන කාලසීමාවකට යොමු වීමට ඔහුට හැකියාව ලැබී තිබේ. පසුගිය වසර 15 පුරාම තමන්ට නිවහනක් බඳු වූ මෙම ආකෘතිය වෙනුවෙන් මිස අන් කිසිදු ආකෘතියකට එවන් සමුගැනීමක් තමන් අපේක්ෂා නොකරනු ඇතැයි ද ඔහු සඳහන් කර සිටියි.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි-විස්ස ජාත්‍යන්තර තරග 130කට ක්‍රීඩා කර ඇති මැක්ස්වෙල්, 154.42ක ප්‍රහාරක වේගයක් රඳවාගනිමින් ලකුණු 2897ක් රැස්කර කඩුලු 51ක් දවාගෙන ඇත. විස්සයි-විස්ස ජාත්‍යන්තර පිටියේ ඔහු ශතක 5ක් වාර්තා කර ඇති අතර, එය රෝහිත් ෂර්මා සමඟ ඒකාබද්ධව ඔහු සතු ලෝක වාර්තාවකි. මීට අමතරව ටෙස්ට් තරග 7කට ක්‍රීඩා කර ඇති මැක්ස්වෙල්, රාංචිහිදී ඉන්දියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 104 ද ඇතුළුව ලකුණු 339ක් රැස්කර තිබේ. ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට එක්වූයේ 2017 වසරේදීය.