blasphemy-against-islam-is-incompatible-with-buddhism---judge-kumaran-ratnams-warning-to-venerable-gnanasara-thero

ආදරය, කරුණාව සහ මෛත්‍රිය යන උත්තරීතර ගුණාංගවලින් පිරිපුන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොමැති බවත්, ආගමික නායකයින් සෑමවිටම සිය ආගමානුකූල ඉගැන්වීම්වල පිහිටා යහපත් දිවි පෙවෙතක් ගත කළ යුතු බවත් අධිකරණයක් හමුවේ ප්‍රකාශ වූයේ හුදු ආගමික දේශනාවක් ලෙසින් නොවේ. එය, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත අභියාචනාධිකරණය හමුවේ අද (18) දිනයේ ලබාදුන් තීරණාත්මක නඩු තීන්දුවක හරය මෙන්ම විනිසුරුවරයා විසින් ලබාදුන් දැඩි අවවාදය ද විය.




සිය දර්ශනය තුළින් ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කළ ශාස්තෘවරයෙකුගේ මඟ පෙන්වීම සිහිපත් කළ අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම්, ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වෙමින් ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම එලෙසින්ම තහවුරු කළේය. ඒ, අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර හිමිනම විසින් ගොනු කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරමිනි.

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එතැනදී උන්වහන්සේට අසන්නට ලැබුණේ නීතිමය තීන්දුවක් පමණක් නොවේ. බෞද්ධ දර්ශනය තුළ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කිසිදු සඳහනක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා, ඉදිරිපත් වී ඇති සියලු කරුණු සලකා බැලීමේදී පැමිණිල්ල විසින් විත්තිකාර ස්වාමීන් වහන්සේට එරෙහිව එල්ල කර තිබූ චෝදනා කොළඹ මහාධිකරණය හමුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව පැහැදිලි වන බව විවෘතවම ප්‍රකාශ කළේය.




මෙම නීතිමය ක්‍රියාවලියේ ආරම්භය සටහන් වන්නේ 2016 වසරේ මාර්තු මස 30 වන දින කොළඹ, කිරුළපන ප්‍රදේශයේදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඥානසාර හිමියන් විසින් පළ කරන ලද අදහස් මගින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදුවන බවත්, ජාතීන් සහ ආගම් අතර සංහිඳියාවට ඉන් දැඩි බාධාවක් එල්ල වන බවත් සඳහන් කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේය.

එම චෝදනාවලට වැරදිකරු වීම හේතුවෙන් 2024 වසරේදී කොළඹ මහාධිකරණය විසින් ඥානසාර හිමියන්ට මෙම වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම නියම කර තිබිණි. එම මහාධිකරණ තීන්දුවට මැදිහත් වීමට අභියාචනාධිකරණය කිසිදු අපේක්ෂාවක් නොකරන බව සිය තීන්දුවෙන් ප්‍රකාශ කළ විනිසුරු කුමාරන් රත්නම්, ඉදිරි අවශ්‍ය පියවර ගැනීම සඳහා නඩු තීන්දුවේ පිටපත් කොළඹ මහාධිකරණය වෙත යොමු කරන ලෙසට අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.



බුදුන් වහන්සේගේ මෛත්‍රී සහගත දර්ශනයත්, ආගමික නායකයෙකු සතු විය යුතු යහපත් පැවැත්මත් පිළිබඳව අධිකරණයකින් දුන් ගැඹුරු සිහිගැන්වීමක් ඉතිරි කරමින් ඥානසාර හිමියන්ගේ අභියාචන ක්‍රියාවලිය එලෙස නිමාවට පත් විය.