what-is-sangha-patala

ශ්‍රී ලාංකේය දේශපාලන, සමාජීය සහ මාධ්‍ය කතිකාව තුළ කලක් තිස්සේ භාවිත වූ එක්තරා විවේචනාත්මක යෙදුමක් මේ වනවිට ප්‍රබල ලෙස කරළියට පැමිණ තිබේ. ඒ, ‘සංඝ පාතාලය’ යන්නයි.

එය ඇත්තටම සංඝයා වහන්සේලා හඳුන්වන්නට උචිත වචනයක්ද යන්න විමසා බලමු.




මහා සංඝරත්නය යනු බුදුන් වහන්සේගේ පැවිදි අනුගාමික ප්‍රජාව හැඳින්වෙන පූජනීය නාමයයි. පාතාලය යනු අපරාධකාරී යටිලෝකයයි. මේ පරස්පර විරෝධී වචන දෙක එක්වීමෙන් නිර්මාණය වී ඇති ‘සංඝ පාතාලය’ යනු නීතියෙන් අර්ථ දක්වා ඇති හෝ බෞද්ධ ශාසනය තුළ පවතින නිල නාමයක් නොවේ. එය සිවුර පැළඳගෙන අපරාධ, මත්ද්‍රව්‍ය, ළමා අපචාර මෙන්ම දූෂිත හා දේශපාලනිකව අන්තගාමී කටයුතුවල නිරත වන භික්ෂූන් හඳුන්වා දීම සඳහා ජනමාධ්‍ය, දේශපාලන විචාරකයන් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් භාවිත කරනු ලබන උපහාසාත්මක මෙන්ම දැඩි විවේචනාත්මක යෙදුමකි.

මෙම යෙදුම මෑතකදී අහම්බෙන් නිර්මාණය වූවක් නොවේ. සිය දේශපාලන අදහස්වලට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ ජාතිකවාදී සහ දැඩි මතධාරී භික්ෂූන් ඉලක්ක කරගනිමින් මෙම යෙදුම ජනප්‍රිය කරනු ලැබුවේ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. ලිඛිත මාධ්‍ය තුළද මෙය වරින් වර භාවිත වී තිබේ. 2018 'අනිද්දා' පුවත්පතේ “සංඝ පාතාලය සහ නීතියේ ආධිපත්‍යය” යන මැයෙන් ආගමික බලය සහ නීතිය අතර ගැටුම විවේචනය කෙරෙන ලිපියක් පළ විය. ඉන් පසු පුවත්පත් වෙබ් අඩවි ගණනාවකද ඇතැම් භික්ෂූන්ගේ දේශපාලන සහ සමාජ මැදිහත්වීම් විවේචනය කිරීම සඳහා මෙම වදන භාවිත කර තිබුණි.




2025 තායිලන්තයේ සිට පැමිණි භික්ෂූන් කණ්ඩායමක් ගුවන්තොටුපොළදී මත්ද්‍රව්‍ය සමග හසුවීමේ සිදුවීමට අමතරව තවත් බරපතළ කරුණු රැසක් මෙම කතිකාවට මෑතකාලීනව ඉන්ධන සපයා ඇත. අනුරාධපුර අටමස්ථානාධිපති වහන්සේගේ ළමා අපචාර චෝදනාවද ඒ අතරින් ප්‍රධාන වේ. දෙදහස් විසිතුනේ මැයි සිට දෙදහස් විසිහයේ මැයි දක්වා වූ කාලය තුළ භික්ෂූන් වහන්සේලා දෙසිය අසූ පස් දෙනෙකුට එරෙහිව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි ලැබී තිබේ. අටමස්ථානාධිපති පල්ලේගම හේමාරතන හිමියන්ට එරෙහි නඩුව මින් ප්‍රමුඛතම සිදුවීමක් ලෙස සැලකෙන අතර එහිදී සිදු කළ වරදින් මිදීමට නීතීඥ පිරිස් බලය,මුදල් බලය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා මහනායක හිමිවරු නිහඬ කරවීම වැනි කාරණා තුළ යටින් ක්‍රියාත්මක පාතාල බලය නිරූපණය විය.

රාජපක්ෂ ජනපති සමයේ නීතිය අතටගෙන මෙන් අවස්ථා ගණනාවකදී හැසිරුණ බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ආණ්ඩු පෙරළි සමග නීතියෙන් එම වැරදි වලට දඩුවම් විඳින්නට වූ නමුත් මෛත්‍රිපාල -‍ රාජපක්ෂවාදීයෙකු ලෙස 2018 වෙනස්වීමත් සමග නීතියෙන් ලැබුණ දඩුවමට සමාව හිමි විය. නමුත් පසුකාලීන ආණ්ඩු වෙනස්කම් සමග නීති ක්‍රියාත්මක ආයතන වලට යටින් ‍කළ හැකි බලපෑම් අවමවී නැවත ඒ හිමිගේ සිද්ධිය කරළියට ආවේ දඩුවම ස්ථිර කරමිනි. ඊට සමගාමීව, සිරගත කිරීම, සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේද සහ තිත්තගල්ලේ ආනන්දසිරි හිමි වැනි අයගේ දේශපාලන ක්‍රියාකාරකම් ද මෙම 'සංඝ පාතාලය' යන විවේචනාත්මක හැඳින්වීම තවදුරටත් පුළුල් කර ඇත.



කෙසේ වෙතත්, දේශපාලනයට සම්බන්ධ වීම, දේශපාලන අදහස් දැක්වීම හෝ සමාජ අසාධාරණයට එරෙහිව හඬ නැඟීම පමණක් භික්ෂුවක් මෙම ඊනියා පාතාලයට අයත් බවට සාක්ෂියක් නොවන බව විචාරකයෝ පෙන්වා දෙති. මෙම චෝදනාව එල්ල වන්නේ පූජක රාජකාරියෙන් ඔබ්බට ගොස් ආගමික හෝ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට තර්ජනය, බියවැද්දීම සහ මැර බලය යොදාගන්නා, රාජ්‍ය නිලධාරීන්ට හා දේශපාලන තීරණවලට අනිසි බලපෑම් කරන, ආගමික බලය යොදාගෙන අයථා ආර්ථික වාසි ලබාගන්නා සහ නීතියට ඉහළින් සිටීමට උත්සාහ කරන බවට විවේචනයට ලක්වන පිරිස් වෙතය. වෙනත් ජනකොටස්වලට හෝ විරුද්ධ මතධාරීන්ට එරෙහිව අන්තවාදීව ක්‍රියා කරන බවට චෝදනා ලබන පිරිස් ද මීට ඇතුළත් ය.

මේ සියල්ල මගින් අදහස් වන්නේ සමස්ත භික්ෂු සමාජයම දූෂිත බවක් නොවේ. මහා සංඝරත්නයෙන් අතිබහුතරය පිරිසිදු විනය රකින, ආගමික ගෞරවය ආරක්ෂා කරන පිරිසක් වන අතර, මෙවැනි 'පාතාල' චරිත නිර්මාණය වීමට හේතු වන්නේ ඊට පටහැනිව හැසිරෙන කුඩා කණ්ඩායමක් පමණක් බව දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ වේ. නමුත් එම කුඩා කණ්ඩායමේ ක්‍රියාකාරකම් මගින් නීතියේ ආධිපත්‍යය සහ සිවුරේ ගරුත්වය අතර විශාල ගැටුමක් නිර්මාණය කර ඇති බව මෙම යෙදුම තුළින්ම පැහැදිලි වෙයි.

හිටපු අගමැති බණ්ඩාරනායක ඝාතනයේ සිට අද දක්වාම භික්ෂූන් සම්බන්ධ ප්‍රචණ්ඩකාරී, අපරාධමය සහ දේශපාලනික ආන්දෝලන ශ්‍රී ලාංකේය ඉතිහාසය පුරා දිවෙයි. ‘සංඝ පාතාලය’ යනු එකිනෙකට වෙනස් මුහුණුවරවල් දෙකක් නියෝජනය කරන යෙදුමකි. එය එක් පසෙකින් සැබෑ අපරාධ හා දූෂණය පිළිබඳ සමාජ විවේචනයක් ලෙස ක්‍රියාත්මක වන අතර, අනෙක් පසින් දේශපාලන විරුද්ධවාදීන්ට අපහාස කිරීමේ මෙවලමක් ලෙස ද භාවිත වේ. එමනිසා එය සනාථ වූ අපරාධමය හැඳින්වීමක් ලෙස නොව, ආගමික අනන්‍යතාව සහ සමාජ වගකීම අතර පවතින අර්බුදය නිරූපණය කරන විවේචනාත්මක කැඩපතක් ලෙස හඳුනාගැනීම වඩාත් නිවැරදිය.