are-you-a-baby-dont-call-me-a-baby-here-pathegama-thero-scolds-the-presidents-secretary-in-front-of-the-crowd

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් මහනුවර සිට පාද යාත්‍රාවකින් පැමිණි භික්ෂූන් වහන්සේලා සහ ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිසක් අතර දැඩි උණුසුම් සංවාදයක් හටගත්තේය. මෙම පාගමන අවසානයේදී භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම් විමසා බැලීමට පැමිණි ජනාධිපති ලේකම් නන්දික කුමානායක මහතාට සහ පොලිස් නිලධාරීන්ට, විශ්වවිද්‍යාල මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර හිමියන් දැඩි ලෙස දෝෂාරෝපණය කරන ආකාරය එහිදී දක්නට ලැබිණි.




අදාළ ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය පාතේගම ඥානිස්සර හිමියන් පෙන්වා දුන්නේ, තමන් වහන්සේලා අලුතින් නිදහසක් ඉල්ලා නොසිටින බවත්, මීට පෙර ලබා දී තිබූ නිදහස සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් අතින් සිදුවූ වරදක් නිවැරදි කරන ලෙස පමණක් ඉල්ලා සිටින බවත්ය. 2022 වසරේදී ඥානසාර හිමියන්ට නිදහස හිමි වුවද, නිලධාරීන්ගේ වරදකින් උන්වහන්සේට යළිත් සිරගත වීමට සිදුවීම විශාල අසාධාරණයක් බව උන්වහන්සේ ජනාධිපති ලේකම්වරයා හමුවේ අවධාරණය කළහ.

මීට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් නන්දික කුමානායක මහතා සඳහන් කළේ, අදාළ නිදහස් කිරීමේදී පෙර ජනාධිපතිවරයාගේ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කර නොමැති බවයි. තමා 2024 වසරේ අගභාගයේදී මෙම ධුරයට පත්වූ බවත්, මෙවැනි තීරණයක් නිලධාරීන්ට තනිව ගත නොහැකි බවත්, එය වත්මන් ජනාධිපතිවරයා විසින්ම ගත යුතු තීරණයක් බවත් ලේකම්වරයා පැහැදිලි කළේය.




එම පිළිතුරෙන් දැඩි ලෙස කෝපයට පත් වූ මහාචාර්ය ඥානිස්සර හිමියෝ, ජනාධිපතිවරයාගේ නියෝගයක් ක්‍රියාත්මක වීමේ බලය ඇත්තේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයාට බව පෙන්වා දුන්හ. භික්ෂූන් වහන්සේලාගේ පැමිණීම පිළිබඳව දැනුවත්ව සිටියදීත් පූර්ව සාකච්ඡාවකින් තොරව මෙලෙස පැමිණීම ගැන උන්වහන්සේ ලේකම්වරයාට සිය අප්‍රසාදය පළ කළහ. "අපි මහනුවර ඉඳලා මෙතැනට ආවේ මේ බබා හුකුම් බලන්න නෙවෙයි. ඔබතුමා කතා කරන්නේ මොකුත් දන්නේ නෑ වගේ, ඔබතුමා බබාද.. ඔබතුමා බබෙක්ද..?" යනුවෙන් උන්වහන්සේ දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළහ.

මෙම උණුසුම් අවස්ථාවේදී පොලිස් නිලධාරීන් මැදිහත් වී භික්ෂූන් වහන්සේලා සන්සුන් කිරීමට උත්සාහ කළද, එය තවදුරටත් තත්ත්වය උග්‍ර කළේය. පොලිසිය සිය හඬ යටපත් කිරීමට උත්සාහ දරන බව පවසමින් ඥානිස්සර හිමියන් ඊට දරුණු ලෙස විරෝධය පළ කරමින් කියා සිටියේ, "පොලිසියට පුළුවන්ද මගේ කට වහන්න? පොලිසියම කතා කරන්නේ පඩියට වැඩ කරනවා" යනුවෙනි. අනතුරුව සෙසු භික්ෂූන් වහන්සේලා මැදිහත් වී උන්වහන්සේව පසෙකට කර සන්සුන් කිරීමට කටයුතු කළහ.



මෙම විරෝධතාවයට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සහ නීතිඥ හිමිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටින බවත්, ඔවුන් අවිහිංසාවාදීව වස් කාලය තුළ මෙම පරිත්‍යාගය සිදු කළ බවත් ඥානිස්සර හිමියෝ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළහ. අනතුරුව පිරිස අට්ටාලයක් ගසාගෙන එම ස්ථානයේ සත්‍යග්‍රහයක් පවත්වන්නට සූදානම් බව වාර්තා විය.

gossiplanka image