villagers-in-kobeigane-area-arrested-a-thief-tied-him-to-a-tree-and-then-brought-him-to-the-police-station-where-he-died

කුරුණෑගල, කොබෙයිගනේ ප්‍රදේශයේදී ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාරදුන් සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන සැකකරුවෙකු පොලිස් භාරයේ පසුවෙද්දී රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිදුවීමක් මේ වනවිට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ ගම්වාසීන් එකිනෙකට පරස්පර අදහස් පළ කිරීම හේතුවෙන් මෙම මරණය සිදුවූ ආකාරය පිළිබඳව බරපතළ ගැටලුවක් නිර්මාණය වී ඇත.




පසුගිය සඳුදා දහවල් කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී මෙම සිදුවීම ආරම්භ වී තිබුණි. කලක පටන් ප්‍රදේශයේ සිදුවූ සොරකම් සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් අදාළ පුද්ගලයා ගැන කොබෙයිගනේ පොලිසියට පැමිණිලි කර තිබූ අතර, එවැනි අවස්ථාවලදී ඔහුව අල්ලා භාරදෙන ලෙස පොලිසිය ගම්වාසීන්ට දැනුම් දී තිබී ඇත. ඒ අනුව සඳුදා දිනයේදී අදාළ තරුණයා ගම්වාසීන්ගේ ග්‍රහණයට නතු වූ අතර, ඔවුන් ඔහුව ගසක බැඳ තබා පොලිසියට දැනුම් දීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව එහි පැමිණි පොලිස් නිලධාරීන් සැකකරු සිය භාරයට ගෙන රැගෙන ගොස් ඇත. එහෙත් පොලිස් භාරයට ගැනීමෙන් පසු ඇති වූ යම් අසනීප තත්ත්වයක් හේතුවෙන් සැකකරු නිකවැරටිය සහ කුරුණෑගල යන රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය පවසයි. ඒ අනුව ඊයේ රාත්‍රියේ නිකවැරටිය රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.




සැකකරුගේ මරණයත් සමඟ සිද්ධිය වෙනත් අතකට හැරුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ අදාළ පුද්ගලයාට ප්‍රදේශවාසීන් විසින් පහර දී ඇති බවට සැකයක් මතුව ඇති බවයි. මේ හේතුවෙන් සැකකරු අල්ලා ගස් බැඳීමට මුල් වූ ගම්වාසීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොබෙයිගනේ පොලිසිය කටයුතු කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු ඇතැම් වාර්තා මෙම අත්අඩංගුවට ගත් ප්‍රමාණය පස් දෙනෙකු ලෙස දැක්වුවද, සිද්ධියට අදාළව පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පසුව තහවුරු කළේය.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් ගම්වාසීන්ගේ පාර්ශ්වය පොලිසියේ මෙම චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කරති. ඔවුන් පවසන්නේ සැකකරු අල්ලා ගසක බැඳ පැයක් ගතවීමටත් මත්තෙන් පොලිසිය පැමිණ ඔහුව නාවා නිරුපද්‍රිතව රැගෙන ගිය බවයි. "මේ හොරා ගැන අපි කිහිප වතාවක්ම පැමිණිලි කළා. අල්ලලා භාරදෙන්න කිව්වේ පොලිසියෙන්මයි. අපි ගහට බැඳලා පැයක්වත් තියාගෙන හිටියේ නෑ. පොලිසිය ඇවිල්ලා නිරුපද්‍රිතව අරන් ගිය පුද්ගලයා දවස් දෙකක් පොලිසියේ තියාගෙන ඉඳලා තමයි මේ මැරිලා තියෙන්නේ," යනුවෙන් ගම්වාසියෙකු සිය විරෝධය පළ කළේය.



ඔවුන් තවදුරටත් තර්ක කරන්නේ, ගම්වාසීන් විසින් යම් පහරදීමක් සිදුකර තිබුණේ නම් පොලිසියට ඔහුව රැගෙන ගිය විගසම රෝහල්ගත කිරීමට හැකියාව තිබූ බවයි. දින දෙකක් පොලිස් අත්අඩංගුවේ තබාගැනීමෙන් අනතුරුව රෝහල්ගත කර මෙලෙස මියයාම සහ ඊට තමන්ට චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ඔවුහු දැඩි අප්‍රසාදය පළ කරති.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් පිළිබඳව හෝ මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. මරණයට සැබෑ හේතුව සහ සිද්ධියට සම්බන්ධ වගකිවයුත්තන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා අදාළ අංශ මඟින් පුළුල් විමර්ශන පවත්වන අතර, ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

villagers-in-kobeigane-area-arrested-a-thief-tied-him-to-a-tree-and-then-brought-him-to-the-police-station-where-he-died

villagers-in-kobeigane-area-arrested-a-thief-tied-him-to-a-tree-and-then-brought-him-to-the-police-station-where-he-died

villagers-in-kobeigane-area-arrested-a-thief-tied-him-to-a-tree-and-then-brought-him-to-the-police-station-where-he-died



villagers-in-kobeigane-area-arrested-a-thief-tied-him-to-a-tree-and-then-brought-him-to-the-police-station-where-he-died