
ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව මධ්යයේ "නිදහසේ පාද යාත්රාව" නමින් කොළඹට පැමිණි මහා සංඝරත්නය, ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ගයේ හිඳිමින් ආරම්භ කළ සත්යග්රහ විරෝධතාව අවසන් නොකර එතැනම රැඳී සිටිති. බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන බවට රජය විසින් නිල ප්රකාශයක් සිදු කරන තුරු තම විරෝධතාව අත්නොහරින බව එම හිමිවරු තරයේ අවධාරණය කරති.
ඊයේ සවස් කාලයේ මහා සංඝරත්නයේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයට ළඟා වූ මෙම පාගමනේ ප්රධාන ඉල්ලීම වී තිබුණේ සිරගතව සිටින ඥානසාර හිමියන් මුදාහරින ලෙසයි.විරෝධතාවයේ නිරත හිමිවරුන් සමග සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති ලේකම්වරයා මුලින් ඉදිරිපත් නොවීම හේතුවෙන්, උන්වහන්සේලා ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ මාර්ගය මත වාඩි වී විරෝධතාව පළ කිරීමට පියවර ගෙන තිබිණි. පසුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විරෝධතාවයේ නියුතු හිමිවරුන් හමුවී සාකච්ඡාවක නිරත විය. එහිදී මහා සංඝරත්නය ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ලබා දුන් ජනාධිපති සමාවේ ඇතැයි කියන තාක්ෂණික දෝෂය නිවැරදි කරන ලෙසයි.
එම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා දැනටමත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා කර ඇති බව තමන් දන්නා බව පෙන්වා දුන් උන්වහන්සේලා, මෙම ප්රශ්නය විසඳීම සඳහා පැහැදිලි කාලරාමුවක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියහ. කාල රාමුව මාසයක් පමණ යනු ඇතැයි දන්වා සිටි විට 'මාසයක් ඉන්න බෑ අපට' යයි කෑ මොර දෙන්නට උන් වහන්සේලා පියවර ගත්හ.
කෙසේ වෙතත්, මෙම ඉල්ලීමට සාකච්ඡාවෙන් පසු සාධනීය ප්රතිචාරයක් නොලැබුණු අතර, මේ මොහොතේ ඒ පිළිබඳව ස්ථිර හෝ නිශ්චිත පිළිතුරක් ලබා දීමට තමන්ට නොහැකි බව ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්රකාශ කළේය. විරෝධතාවයේ නිරත පාර්ශ්වය සඳහන් කරන අන්දමට, මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අවම වශයෙන් මාසයක කාලයක් අවශ්ය වන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් ඔවුන් වෙත දැනුම් දී ඇත.
ලැබුණු එම ප්රතිචාරය පිළිබඳව බලවත් අප්රසාදය පළ කළ මහා සංඝරත්නය, සිරගත කර සිටින ඥානසාර හිමියන් මුදාහැරීම සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් යහපත් නිවේදනයක් ලැබෙන තුරු විරෝධතාව අත්නොහරින බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යාම ප්රතික්ෂේප කළහ. මේ අතර, මෙම සාකච්ඡාවල ප්රතිඵලය පිළිබඳව ජනාධිපති කාර්යාලය මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති පසුබිමක, මාර්ගය මත රැඳී සිටිමින් ගෙන යන සත්යග්රහ විරෝධතාව තවදුරටත් ක්රියාත්මක වෙයි.
